වතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත් , වතුකරයේ ජනතාව මෙතෙක් ජන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව අපට බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියාසිටියේ වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක මුත්තයියා ප්රභාකරන්ට සහයෝගය දැක්වු වතුකරයේ තරුණයන් 300 දෙනෙකු අද (23) පලනි දිගම්බරම් මහතාට සහයෝගය දැක්විමට එක්විමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මහතා කියාසිටියේ
“ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහ මුත්තයියා ප්රභාකරන් සමග හිටිය තරුණ පිරිසක් අපි සමග එකතු වුණා.දවසින් දවස අපි සමග තරුණ කට්ටය එකතු වෙනවා.
පසුගිය අවුරුදු 4 ½ කාලය තුල අපි වතුකරයට විශාල සේවයක් කරලා තියෙනවා. වතුකරයේ තරුණයන් දන්නවා කවුද වතුකරයට වැඩ කරේ කියලා.
මෙච්චර කාලයක් ජනතාව ජන්දය දුන්නේ එකසත් ජාතික පක්ෂයට නෙවෙයි අපිට . නුවරඑළියේ ජන්ද තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි අපිට.
ලාංජනය ලොකු දෙයක් නෙවෙයි. අපේ ජනතාව පොහොට්ටුවට , අලියට , හංසයට ජන්දය දලා තියෙනවා . අපේ ජනතාව මොලේ තියෙන ජනතාවක්. දුරකථනය මෙවර වැඩි ජන්දයෙන් ජයග්‍රහණය කරනවා , ජනතාව ඉන්නේ අපි සමග” යනුවෙන් පැවසිය.