ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලෙස සිදුකරන උද්ඝෝෂණ දිනෙන් දින වැඩිවන බව විදෙස් වාර්තා පවසයි.
කොවිඩ්-19 වසංගතය හමුවේ ලොව වැඩිම ආසාදිතයන් සහ වැඩිම මරණ වාර්තා වන රට ලෙස එරට සමාජ දුරස්ථකරණ වැඩපිළිවෙළ සඳහා ප්‍රාන්ත ආණ්ඩු සහ මධ්‍යම රජය අතර වූ මතගැටුම්වලින් පෝෂණය ලබන වගකීමෙන් තොර වැසියන් රැසක් මෙම උද්ඝෝෂණයන්ට සහභාගී වී සිටි බව වාර්තා වෙයි.
ඔරෙන්ජ් පළාතේ සියලුම වෙරළ තීරයන් වසා දමන ලෙස ආණ්ඩුකාරවරයා දුන් නියෝගයට එරෙහිව ඊයේ (01දා) හන්ටිංටන් වෙරළට මෙම ලොක්ඩවුන් විරෝධී විරෝධතාකරුවන් පැමිණ තිබේ.
හන්ටිංටන් බීච් පොලිසියේ ප්‍රධානී රොබට් හැන්ඩි පවසන පරිදි 2,500ත් 3,000ත් අතර පිරිසක් ඊට සහභාගී වී ඇත.
ප්‍රසිද්ධ ස්ථානවලදී මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථකරණය අනිවාර්ය බව එරට මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් නිර්දේශ කර තිබුණත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අඩුම තරමින් මුව ආවරණයක් හෝ පැළඳ නොසිටි බවත්, සමාජ දුරස්ථකරණය තඹ දොයිතුවකට මායිම් නොකළ බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ඒ වෙනුවට ඔවුන් විවිධ විරෝධතා පුවරු ඔසවාගෙන සිටි අතර, ඒවායින් සමහරක කියවුනේ මෙවැනි වදන්ය.
"වැඩ නෑ, සල්ලි නෑ, කොණ්ඩෙ කපන්න නෑ."
"සියලුම රැකියා අත්‍යවශ්‍යයි."
"සියලු පාසල් වහාම විවෘත කරන්න."
"මාව පාගා දමන්න එපා."
"නපුරේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය එකම දේ, යහපත් මිනිසුන්ට නිදහසේ ඉන්නට දීමයි."
කෙසේ වෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් විරෝධතාකරුවන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ මේ අවස්ථාවේදී තම තමන් තමාගේත්, තම පවුලේත් ආරක්ෂාව සලසා ගත යුතු බවය.
"ඔබ විරෝධතාකරුවෙක්, ප්රජාතන්ත්රවාදියෙක්, රිපබ්ලිකන් පාක්ෂිකයෙක් දැයි මේ රෝගය හඳුනන්නේ නෑ." යැයි ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවකදී පැවසීය. "ඔබ ඔබව ආරක්ෂා කරන්න, ඔබේ පවුල, ඔබේ දරුවන්, ඔබේ දෙමාපියන්, ඔබේ ආච්චි සීයා, ඔබේ අසල්වැසියා ආරක්ෂා කරන්න." ඔහු ඉතා බැගෑපත්ව සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම විරෝධතාවන්ට සහාය දැක්වීම නිසා ඔවුන් තව තවත් පෝෂණය ලබමින් මෙවැනි උද්ඝෝෂණවලට යොමුවන බවට සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති.