ශ්‍රී ලංකාව තුළ වනසතුන්ගෙන් සිදුවන ආහාර භෝග හානිවලින් වැඩිම හානියක් වල් ඌරන් ඇතුළු අනෙකුත් කුඩා සතුන්ගෙන් සිදුවන බවත්, එසේම වනඅලින්ගෙන් සිදුවනුයේ අවම හානියක් වන බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ වාර්තාවකින් සනාථ වී තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව තුළ වගා කෙරෙන ආහාර භෝගවලින් 40%ක් වනසතුන් විසින් විනාශ කරන බවයි.
ඒ අනුව සතුන් විසින් සිදුකරන සමස්ත ආහාර භෝග වගා හානිවලින් 46%ක පමණ ප්‍රමාණයක් වල්ඌරන්, ඉත්තෑවුන්, රිලවුන්, දඬුලේනුන් හා වඳුරන් වැනි සතුන් මගින් සිදුවන බව තහවුරු වී තිබේ.
එසේම 34%ක පමණ ප්‍රමාණයක වගා හානියක් පක්ෂීන් විසිනුත් එසේම 20%ක පමණ හානියක් වනඅලින් විසිනුත් සිදුකරන බවද සඳහන් වේ.
මෙහිදී පක්ෂීන් අතරින් වැඩිම වගා හානියක් සිදුකරනු ලබන්නේ, මොනරා විසින් වන බවත්, ඒ අනුව මොනර බිත්තර විනාශ කරන විලෝපිතයන්ගේ හිඟකම මොනර ගහනය ඉහළ යාමට හේතුවී ඇති බවත් අදාළ පර්යේෂණ වාර්තාව පෙන්වා දී ඇත.
ආහාර භෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානි සහ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණ වාර්තා දෙකක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට එම නිලධාරීහු පසුගියදා කටයුතු කළහ.
ඒ අනුව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මෙම පර්යේෂණ වාර්තා මගින් පෙන්වාදී ඇති කරුණු ජනාධිපති කාර්ය සාධක බළකායේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
එසේම වනසත්ත්ව හානි වැළැක්වීම සඳහා විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් විකල්ප යෝජනා ඉදිරිපත් කළද ඒවා තිරසාර විසඳුම් නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.