දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ සහ තවත් හත් දෙනෙකුට උණ රෝගය වැළඳී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගත් සුගතදාස හෝටලයේ මදුරු කීටයන් රැඳී සිටීම හේතුවෙන් බව
අනාවරණය විම නිසා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.
සුගතදාස හෝටල් පරිශ්‍රය සහ ක්‍රීඩාංගණ පරිශ්‍රය ඉතා අපිරිසිදු කැලිකසල බහුල පරිශ්‍රයක් වන අතර, මේ වනවිට අදාළ හෝටල් පරිශ්‍රය තුළ මදුරු කීටයන් බහුලව ගැවසෙන බව ද ඊයේ දිනය තුළ කොළඹ නගරසභාවේ වෛද්‍ය නිලධාරී කණ්ඩායම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“බොහොම කාලෙකට පස්සෙ අපේ රටේ ක්‍රීඩාවේ රන් අස්වනු ලබාදෙමින්, රන් පදක්කම් 36ක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නට දකුණු ආසියානු ක්‍රීඩා තරගවලට සහභාගී වූ අපේ දරුවන්ට හැකිව තිබෙනවා. උණ රෝගය වැළදිලා, එහෙත් තරගාවලියට එක් වූ අය, උණ රෝගය වැළඳීම නිසා මානසිකව පසුබෑමට ලක් වූ අය මෙන්ම උණ රෝගය වැළඳිමෙන් තරගවලට සහභාගීවීමට නොහැකී වූ දරුවන් මේ අය අතර ඉන්නවා. මම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධයෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලනවා. මම මේ දරුවන්ගෙ දෙමවුපියන්ට කතා කළා. මේ අයගෙන් වැඩි පිරිසක් ගම්වල ඉතාම අහිංසක දරුවො. මේ රටට කීර්තිය ගෙන දෙන මේ වගේ දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.
රටට ක්‍රීඩාවෙන් කීර්තිය ගෙන එන්නට වෙහෙසුණ මේ දරුවන්ට අත්වූ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් මා නිහතමානීව ඉතා කනගාටුවට පත්වෙනවා. මේක මගේ කාලෙ වුණ දෙයක් නෙවෙයි කියලා ඇඟ බේරාගන්න දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ.
සුගතදාස ක්‍රීඩාංගණය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාවකාලිකව නවාතැන් ගන්නා සුගතදාස හෝටල් පරිශ්‍රය මේ අයුරින් කිසිවෙකුගේ අවධානයට යොමු නොවී ඇත්තේ, පසුගිය වසර පහ තුළ සභාපතිවරුන් පස්දෙනෙක්, ක්‍රියාකාරි අධ්යක්ෂවරුන් තිදෙනෙක්, සහ ඇමතිවරුන් සිවුදෙනෙක් යටතේ විවිධ තීන්දු ගනිමින් ඉතා පිරිහුණු දේශපාලනයක් මේ තුළ ක්‍රියාත්මකව පැවති ඇති නිසා බව ද අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.
මේ සම්බන්ධව අදම ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කර, මෙම පරිශ්‍රයෙහි පවත්නා කනගාටුදායක තත්ත්වය සම්බන්ධව එතුමන් දැනුවත් කරන බවද, ඉතා ඉක්මණින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත්කරන බවද මේ පරිශ්‍රය මැදින් ගලාගෙන යන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරි ඇළ මාර්ගය සහ මෙම ක්‍රීඩා පරිශ්‍රය සම්පූර්ණයෙන් ම පිරිසිදු කිරීමට නගරසභාවේ සහයෝගය ද ලබාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.