ලිහිසි තෙල් මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැවින් ඒ සඳහා පාලන මිලක් නියම කරන ලෙසට අද (24දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටි බව 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය' සඳහන් කරයි.
ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් නවසියයත්, එක්දහස් පන්සියයත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, වාහන හිමියන්ට මෙය දරාගත නොහැකි මිලක් වන බවත් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
ලිහිසි තෙල් මිල දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් තත්ත්වයෙන් බාල ලිහිසි තෙල් අලෙවි කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, එම ජාවාරම නවතා දැමීම උදෙසා 'පාරිභෝගික කටයුතු අධිකාරිය' කටයුතු කරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ජාවාරම් ක්‍රියා නවතා දැමීම හොඳ දෙයක් බවත්, ලිහිසි තෙල් මිල දිගින් දිගටම ඉහළ යාමද ජාවාරමක් ලෙස සැලකිය හැකි බැවින් ලිහිසි තෙල් ලීටරයකට පාලන මිලක් නියම කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් ලිහිසි තෙල් මිල ඉදිරියේදී විශාල ලෙස ඉහළ යා හැකි බවත්, ඒ හරහා වාහන හිමියන් ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.