මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී විපක්ෂය, ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු - ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඊයේ (06) බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක මාධ්‍ය හමුවීමට එක්වෙමින් ඒම මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
“කොරෝනා වසංගතය ලෝක පරිමාණව ඇවිලෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඉතා වැදගත් ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ එක් එක් රටවල රාජ්‍ය නායකයන්, පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්. ඔහු ඉල්ලා සිටියේ ‘ඔබලා සීමා ඉරි මකා දමන්න. දේශපාලන වෙනස්කම් අමතක කරන්න. වෙනත් වෙනස්කම් අමතක කරන්න. මේ වසංගතය පරාජය කිරීම පිණිස ඔබලාගේ රටවල් තුළ උසස් මනසින් හෙබි මිනිසුන් ලෙස කටයුතු කරන්න’ කියා.
ඔබ දන්නවා ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, කැබිනට් මණ්ඩලය ඇතුළු මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන වාදභේදයකින් තොරව සිය උපරිම කැපවීමෙන් මෙම කොරෝනා වසංගතය පාලනය පිණිස කටයුතු කරමින් සිටින බව. යම් රටක් වසංගතයක් පාලනය කරලාද, නැද්ද, කියා මැන බැලීමේ ප්‍රධානතම මිනුම් දණ්ඩ තමයි, එම වසංගතය එම රටේ සෞඛ්‍ය අංශවල ධාරිතාවට දරා ගත හැකිද, නොහැකිද, යන්න.
අද වනවිටත් අපේ රටේ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ලම කොරෝනා රෝගීන්ගෙන් පිරී නැහැ. තවදුරටත් සමස්ත මරණ සංඛ්‍යාව 10ට අඩු ඉලක්කමක තබා ගන්න හැකි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සමස්ත රෝගීන් සංඛ්‍යාව 1000කට අඩුයි. ඉන් 200කට අධික සංඛ්‍යාවක් මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා. ඒ කියන්නේ අපි රටක් ලෙස මේ වසංගතය සාර්ථකව පාලනය කරමින් සිටින බව නොවේද?
ඉන් කියවෙන්නේ මේ රටේ දේශපාලන නායකත්වය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සාර්ථකව තම වගකීම් ඉටු කරන බවයි. රුපියල් 5000ක සහනය එය හිමි පිරිසෙන් 99.9%ක පිරිසකට ලබා දීමට මෙරට ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සමත්ව තිබෙනවා. ‘කොරෝනා එනකොට එදා හිටපු වහපාලනය හිටියා නම් මේ රටට දෙයියන්ගෙම පිහිටයි’ කියා හිත යටින් පවසන්නේ අපි නොවෙයි එදා ඒ වහපාලනය කැන්දාගෙන ආපු පිරිසමයි.
ඒත් මෙවැනි ලෝක පරිමාණ වසංගතයකට රටක්, ජාතියක් මුහුණ දී සිටින විට ලෝකයේ කිසිදු රටක විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ආත්මාර්ථකාමී - නරුම හැසිරීමක් මේ රටේ විපක්ෂය අද පෙන්නුම් කරමින් සිටිනවා. මේ අය එකිනෙකා ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, හෙද නිලධාරීන් ආදී වශයෙන් රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය කිරීමේ ක්‍රමවේද සොයමින් සිටිනවා. වසංගත තත්ත්වය පාලනය හොඳ නම් එහි ගෞරවය ‘සමකයට’ ලබා දෙනවා”.