ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්තවලට අනුව කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ මිලියන 2.5කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති අතර, ලොව පුරා 170,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
හොංකොං වැනි ආසියාවේ සමහර ප්‍රදේශවල මෙම අර්බුදය ක්‍රමයෙන් බැස යමින් පවතින නමුත්, එක්සත් ජනපදය හා ලෝකයේ වෙනත් ප්‍රදේශවල එය දිගින් දිගටම පැතිරෙමින් තිබේ. ලෝකය වෙලාගෙන ඇති කොවිඩ්-19 ගැන ලන්ඩනයේ සිට හොංකොං දක්වා නවතම තතු එකතුවකි මේ.
ට්‍රම්ප් පවසන්නේ සියලු සංක්‍රමණ නතර කරන බවයි
එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රට තුළට පැමිණෙන සියලුම සංක්‍රමණිකයන් තාවකාලිකව අත්හිටුවන විධායක නියෝගයකට අත්සන් කරන බවයි. වැඩිදුර තොරතුරු සැපයීම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළ අතර අදහස් දැක්වීම සඳහා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වීය. සංක්‍රමණ අත්හිටුවීම සඳහා ට්‍රම්ප් භාවිත කරන යාන්ත්‍රණය කුමක්ද, එවැනි අත්හිටුවීමක් කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න හෝ එක්සත් ජනපද දේශසීමා මාර්ගවල ක්‍රියාකාරිත්වය සහ දැනටමත් ග්‍රීන් කාඩ්පත් ඇති අයට මෙය බලපාන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ඇමෙරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කිරීම මෙහි අරමුණ බව ට්‍රම්ප් පවසා තිබේ.
එක්සත් රාජධානියේ PPE අර්බුදය
එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය සයිමන් ක්ලාක් කියා සිටියේ රට පුද්ගලික ආරක්ෂක උපකරණවල (PPE) දැනට හිඟයක් නොමැති නමුත්, පවතින තොග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව ඇති බවයි. බ්‍රිතාන්‍ය පුරා රෝහල් ප්‍රධානීන් PPE උපකරණවල අඩුවක් පවතින බවට විවේචනාත්මක අනතුරු ඇඟවීමක් කිරීමත් සමග මෙම නිවේදනය අමාත්‍යවරයා සිදුකළේය.
ඉන්දීය ජනමාධ්‍යයටත් කොවිඩ්-19 ආසාදනය වෙයි
ඉන්දියානු මූල්‍ය අගනුවර වන මුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත. ඔවුන් වසංගතය ආවරණය කරමින් කටයුතු කළ මාධ්‍යවේදීන් බව කියයි. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය සංගම් විසින් රටේ මාධ්‍යවේදීන් සඳහා වැඩි ආරක්ෂාවක් ඉල්ලා තිබේ.
බොරතෙල් මිල යථාතත්ත්වයට පත්වේවිද?
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම වාර්තා කළ ඊයේ (20දා) දිනයෙන් පසුව, බොරතෙල් බැරලයක මිල අද (21දා) දිනයේ යළිත් ඉහළ යෑමක් වාර්තා කර තිබේ. වසංගතය නිසා තෙල් ඉල්ලුම වේගයෙන් පහත වැටී ඇති අතර, ලෝකය බැරල් ගබඩා කිරීම සඳහා ඉඩක් නොමැති තරම් බවද කියැවෙයි. ඒ අතරම, රුසියාවේ සහ සෞදි අරාබියේ අතිරික්ත සැපයුමද මේ තත්ත්වයට බලපා තිබුණි.
පාකිස්තානයේ ආසාදිතයන් වැඩිම දිනය
ගෙවීගිය දිනය තුළ පාකිස්තානය නව ආසාදිතයන් 796ක් වාර්තා කළ අතර, එය මෙතෙක් තනි දිනයක් තුළ වාර්තා වූ විශාලතම ආසාදිතයන් පිරිස බව කියයි.
ආසාදිතයන් නැතත් හොංකොං දුරස්ථ නීති දීර්ඝ කරයි
අර්ධ ස්වයං පාලිත චීන නගරය ඊයේ (20දා) අලුතින් ආසාදනය වූ කිසිවෙකු වාර්තා නොකළ අතර, මාර්තු මාසයේ සැක පහළ කළ දෙවන රැල්ල අවසන් විය හැකිය යන බලාපොරොත්තුව මතු කර තිබේ. එහෙත් බලධාරීන් කිසිදු ආකාරයකින් මෙය සැහැල්ලුවට නොගන්නා අතර, සමාජ දුරස්ථ නීති තවත් දින 14ක් දක්වා දීර්ඝ කර තිබේ.
ජැක් මා වසංගතයට එරෙහිව නැගී සිටියි
කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අලිබබාහි නිර්මාතෘ සහ චීනයේ ධනවත්ම පුද්ගලයෙකු වන ජැක් මා, ලෝක සෞඛ්‍ය සංවිධානයට මිලියන ගණනක් වටිනා මුඛ ආවරණ සහ පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කර ඇති බව සඳහන් වෙයි.