ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළින් එංගලන්තයට පැමිණිමේදී ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුද්ගලයින් හතර දෙනා සියලු ත්‍රස්ත චෝදනා වලින් තාවකාලිකව නිදහස් කර ඇප මත මුදා හැර තිබේ.
මොවුන් මෙරටට පැමිණියේ සරණාගතයින් ලෙස ජීවත් වීමට බව ආගමන විගමන නිලධාරීන්ට පැවසුවද පසුව අනාවරණය වී ඇත්තේ මොවුන් කොටි සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බවයි. එහිදී ක්‍රියාත්මක වූ ආගමන විගමන නිලධාරීන් ඔවුන් හතර දෙනාව ආරක්ෂක අංශ වලට භාර කෙරිණි.
එහිදී සිදු කරන ලද පරීක්ෂණ වලට පසුව එල්ටීටීඊ සංවිධානය බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත මර්ධන පනත යටතේ තවමත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේ වෙතත් මේ වන විට ඇප මත මුදා හැර තිබෙන මේ කොටි සාමාජිකයින් හතර දෙනා මෙරට සරණාගතයින් ලෙස ජීවත් වීමට අවශ්‍ය අවසරය සඳහා අයදුම් පත් භාර දී ඇත. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශ පවසන්නේ මේ හතර දෙනාට එරෙහිව ත්‍රස්තවාදී කටයුතු වල නියැළුණු බවට සෘජු සාක්ෂි කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් තාවකාලිකව ඔවුන්ට එරෙහිව පවතින ත්‍රස්ත චෝදනා ඉවත් කර ගෙන ඇති බවයි. තවද කොටි සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී ත්‍රස්ත සංවිධානයක් නොවන බවත් ඔවුන් සඳහන් කරයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ආරක්ෂක හේතුන් මත යැයි සඳහන් කරමින් මෙරට බලධාරීන් විසින් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනා පිළිබඳව කිසිම තොරතුරක් ප්‍රකාශ කිරීමට මැළි කමක් දක්වන බවයි.
එහෙත් දෙමළ එකමුතුව නමැති ක්‍රියාකාරී සංවිධානය සඳහන් කරන්නේ අත්අඩංගුවට පත් වූ මොවුන් හතර දෙනා පිළිබඳව තවමත් ඔවුන්ද කිසිම නිවැරදි තොරතුරක් නොදන්නා බවත් යුරෝපිය රටකින් කුමන ලියකියවිලි ප්‍රයෝජනයට ගෙන ලන්ඩනයට ගුවන් ගත වුයේදැයි ඔවුනට ගැටළුවක් බවයි. තවද මේ පිටුපස සංවිධානාත්මක මිනිස් ජාවාරමේ යෙදෙන පුද්ගලයින් තවමත් මේ සරණාගත ජාවාරමේ ක්‍රියාකාරීව යෙදෙන බවට මෙයත් හොඳ සාක්ෂියක් බව සඳහන් කළේය.
එහෙත් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර අමාත්‍ය සජිඩ් ජාවිඩ් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විදේශීය රටවල ත්‍රස්ත කල්ලි සමග සම්බන්ධතා පවත්වන හෝ එවැනි සංවිධානයක් සමග ක්‍රියාකාරීව ගනුදෙනු කරන මෙරටට පැමිණෙන පුද්ගලයින් පිළිබඳව දැඩි අවධානයකින් අවශ්‍ය නීතිමය කටයුතු කරන බවයි.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට