අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නියම වෙලාවට පවසන බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
අද (18) කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
අපේ රටේ අද තියෙන ආර්ථික දේශපාලනික රටාව ඉතාමත්ම ශෝචනීයයි කියලා අපි විශ්වාස කරනවා. හැම පැත්තෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ සෘණ කාරණා. ධන කාරණා කිසිවක් පෙනෙන්නේ නැහැ. එකක් තමයි දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුව ඇතුළේ තිබෙන අර්බුද. ලිච්ඡවි ප්‍රතිපත්ති වලට එකතු වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයෙත් කියනවා මම දැක්කා. ලිච්ඡවි කෙසේ වෙතත් අජාසත් ක්‍රමයට නම් වැඩ කෙරෙන බව අපිට පෙනෙනවා.
මේ ආණ්ඩුවට දර්ශනයක් නැති නිසා හැම තැනම ආරවුල් නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුවකට දර්ශනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වැඩ පිළිවෙලක් නිර්මාණය වෙනවා. ඒ හරහා ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. නමුත් මෙ ආණ්ඩුවට දර්ශනයක් වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් නැහැ.
මේ තේරීම්කාරක සභාවක් පත්කරන්නට අපි හුඟදෙනෙක් අත්සන් කලා. ඇත්තටම තේරීම් කාරක සභාවක් ඕන වුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත හෙළිකර ගැනීමට සහ කොතනද අපිට වැරදුනේ කියන දේ හඳුනා ගැනීමටයි. එහෙම නැතුව කිසිම කෙනෙක්ව ඉලක්ක කරගන්නට පොදුජන පෙරමුණට අවශ්‍ය වුණේ නැහැ.
නමුත් රිෂාඞ් බදියුදීන් ගේ විශ්වාසභංගයත් එක්කම පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු විකාරයක් කරන්නට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කලා. තේරීම් කාරක සභාවක් කියන්නේ බොහොම ගෞරවාන්විත සභාවක්. ඒ වගේ සභාවක් ඇතුළේ පුද්ගලයින් හෝ වෙනත් කිසිවක් ඉලක්ක කරගන්න බැහැ. සැබෑ සිද්ධියක් පාර්ලිමේන්තුව විසින් ජනතාවට දැන ගැනීම සඳහා වාර්තාවක් සකස් කරන ක්‍රමවේදයක් පමණයි තේරීම් කාරක සභාවකින් කරන්න පුළුවන්.
අද සිදුවෙලා තියෙන්නේ මොකද්ද කියලා පැහැදිලියි. තමන් නිවැරදියි අහවල් අය වැරදියි කියන තැනට තල්ලු කරන වැඩපිළිවෙලක් තමයි දැන් තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් තෙරීම් කාරක සභාවට ආපු අයි.ජී.පි. ගෙන් ප්‍රශ්න කරපු විදිහත් අනෙක් අයගෙන් ප්‍රශ්න කල විදිහත් බලන කොට තේරීම් කාරක සභාවක මූලික හරයවත් මේ අයට තේරෙනවද කියලා සැකයක් ඇතිවෙනවා යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .