අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවධානමකට ලක්ව ඇතැයි දේශීය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.
පතන නැරඹිමට පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් පරිසරයට මුදාහරින නොදිරන අපද්‍රව්‍ය මෙන්ම නිදැල්ලේ සැරිසරන ගව රංවු හේතුවෙන් හා පතනේ ගමන් කළ යුතු දිසාවන් අනුගමනය නොකරමින් විවිධ පුද්ගලයින්ගේ අවිධිමත් සංචාරක කටයුතුද පතනේ පැවැත්ම සඳහා ඝෘජුව බලපෑම් එල්ල කරමින් පවතින බව දේශීය වනාන්තර සුරැකීමේ සංගමයේ සභාපති අතීක් නසීර් මහතා පවසයි.
ඒ මහතාගේ අත්සනින් යුක්තව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
එම මාධ්‍ය නිවේදනයට අනුව පිටවල පතනට පමණක් ආවේණික පතන් අල,නිල්මොණරැස්ස,කදුලැස්ස හා වටලැස්ස වැනි ශාක විශේෂ පිටවල පතනේ දී පමණක් හමුවන ශාක විශේෂ වේ.
වර්ෂ 1960 දී පිටවල පතන ප්‍රදේශයෙන් මුල්වරට හදුනාගෙන ඇති පතන් අල ශාකය මේ වනවිට පතන ප්‍රදේශය ඉතා සුළු ප්‍රදේශයකින් පමණක් වාර්තාවන තත්ත්වයට පත්වී ඇති බව අතීක් නසීර් මහතා සිය නිවේදනයෙන් කියා සිටියි.
මුළු ලොවීන්ම පතනට පමණක් ආවේණික දුම්බර රළු ගල් පර මැඩියා ද රතු දත්ත වාර්තාවන්ට අනුව දැඩි ලෙස වදවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි.
පතනේ සීමිත ප්‍රදේශයක රහසිගතව ජීවත්වන ගල්පර මැඩියන් තවමත් දැකිය හැකි බව අතික් නසිර් මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
සමස්ත ලෝකයෙන්ම පිටවල පතනේ දී පමණක් හමුවන සත්ව හා ශාක විශේෂ වලට අයාලේ යන ගවයින්ගෙන් සහ සංචාරකයින් අතින් සිදුවන හානි වලක්වා ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර් ග ගන්නා ලෙස දේශිය වනාන්තර සුරැකීමේ සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
නාඋල - ඉන්දික කුමාර