තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරෝයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50ක් ,ජංගම දුරකථන 4ක් ,විද්‍යුත් තරාදි 2ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් විසි දහසක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මත්ද්‍රව්‍ය පානයට දැඩිය ඇබ්බැහිව සිටින පුද්ගලයන් බවට තලංගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව දින ගණනාවක් තිස්සේ එම පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස් උපාය දූතයන් යොදවා තහවුරු කර ගත් තොරතුරු අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය.
එක් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග ඔහුගේ නිවසේ දීද අනෙක් සැකකරු මත්කුඩු ,විද්‍යුත් තරාදි ,ජංගම දුරකථන 2 ක් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන මුදල් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය රාජගිරිය ප්‍රදේශයෙනුත්,හෙරෝයින් මත්කුඩු අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයෙනුත් රැගෙන විත් ජාවාරම සිදු කරන බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
වයස අවුරුදු 20 සහ 40 අතර පසුවන සැකකරුවන් දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ