කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ උඩුතුරෙයි ප්රදේශයෙන් රුපියල් කොටි 05 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 239 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.
නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ඒ බව පලෙයි පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව පලෙයි පොලිස් කණ්ඩායමක් විසින් උඩුතුරෙයි ප්රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අදාල කේරල ගංජා තොගය පටවාගෙන සැකකරුවන් විසින් ටිපර් රථයකින් ධාවනය කරන ලද අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.
අදාල කේරල ගංජා තොගය ටිපර් රථයේ ඉතා සූක්ෂමව සඟවාගෙන ගොස් ඇති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර් ගයෙන් රැගෙන එන ලද එම කේරල ගංජා දකුණට ප්රවාහනය කිරීමට සැකකරුවන් විසින් සැලසුම් කොට තිබූ බවටද පලෙයි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩුතුරෙයි ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම කේරල ගංජා ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාවේ සහයෙන් පලෙයි වැඩබලන පොලිස් ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක විජේසිරි මහතාගේ නායකත්වයෙන් උපපොලිස් පරික්ෂක තිරිමාන්න, ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් දායක වී ඇත.