මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 35කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු සමග ඊයේ (9) රාත්‍රී කොටහේන හෙට්ටියාවත්ත සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 250ක් හා ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
කොටහේන මේපිල්ඩ් පෙදෙසේ සුපිරි තෙමහල් නිවසක දෙවන මහලේ පදිංචි පුද්ගලයෙකු මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් සරත් නිලධාරියාට ලද තොරතුරක් අනුව දින කීපයක් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදු කර පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සැකකරු මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කොච්චිකඩේ සෙල්වි ගෙවත්තේ පදිංචිව සිටි විග්නේශ් නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දුරකථනය හරහා ලබාදෙන උපදෙස් මත මත්කුඩු ප්‍රවාහනය කරන බවත් අනාවරණ වූ බව පොලිසිය කියයි.
මත්කුඩු තොග නාඳුනන පුද්ගලයන් හරහා තමාට ලැබීමට සලස්වන බව සැකකරු වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ