ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධ වන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටියේය. ඡන්ද විමසීම පැවැත්වීමට පෙර චීනය මෙම අදහස් දැක්වීය.
චීනය එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේය. කෙසේ වෙතත් වැඩි ඡන්ද 11කින් යෝජනාව සම්මත විය.
චීන දූත පිරිස නිකුත් කළ ප්‍රකාශය
මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, දුර්වල කණ්ඩායම් වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම පිළිබඳව චීනය අගය කරයි. එමෙන්ම ඉහත සඳහන් ක්ෂේත්රයන්හි ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව චීනය ශ්‍රී ලංකා රජයට සුබ පතයි.
එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 60/251ක තීන්දුවට අනුව මානව හිමිකම් කවුන්සිලය විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකතාව සහ තෝරා නොගැනීම යන මූලධර්ම අනුගමනය කළ යුතුය. සියලු පාර්ශවයන් අව්‍යාජ සංවාද හා සහයෝගීතාවයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව සිදු කළ යුතුය. ද්විත්ව ප්රමිතීන් අනුගමනය නොකළ යුතු අතර මානව හිමිකම් ප්රශ්නය දේශපාලනීයකරණය නොකළ යුතුය. සියලුම රටවල් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු හා මූලධර්ම වලට අනුකූලව කටයුතු කර, වෙනත් රටවල ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට ගරු කරමින් මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී,වෙනත් රටවල ස්වෛරීභාවයට හානි කර ජාත්‍යන්තරය අඩපණ කිරීමේ ක්‍රියාවන් අත්හරින ලෙස අපි ඉල්ලා සිටිමු.
L.1/Rev.1 කෙටුම්පත් යෝජනාවේ අනුග්රාහකයෝ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයන් සහ ජයග්‍රහණ නොතකා, ශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්ත ද නොසලකා හරිමින්, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනයේ යහපත් තත්ත්වය අඩපණ කරති. මෙය මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම නොව මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ නියම උදාහරණයකි. මෙම භයානක ප්‍රවණතාවයට මානව හිමිකම් කවුන්සිලය දායක නොවිය යුතුය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මෙන්ම මහ සභාවේ 60/251 තීන්දුවේ ස්ථාපිත කර ඇති මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා චීන දූත පිරිස L.1/Rev.1 කෙටුම්පත් යෝජනාවට ඡන්ද විමසීමක් ඉල්ලා සිටින අතර එයට එරෙහිව ඡන්දය දෙනු ඇත. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් එක්ව එම යෝජනාවට විරුද්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.
ස්තූතියි, ගරු සභාපතිතුමියනි.