චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්, මේ වනවිට එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු යුද නෞකා ප්රමණයද අභිභවා ගොස් ඇති බව එක්සත් ජනපදය විසින්ම පවසා සිටියි.
ඒ අනුව මේ වනවිට යුද නෞකා 297ක් පමණක් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය සිය නෞකා ප්රමාණ්ය 355ක් දක්වා ඉදිරි අනාගතයේදී වැඩිකර ගැනීමට සැලසුම් කර තිබුණත්, ඉදිරි වසර හතර තුළ සිය යුද නෞකා ප්‍රමාණය 400ක් දක්වා වැඩිකර ගැනීමට චීනය සැලසුම් කර ඇති බවද එක්සත් ජනපද නාවික බුද්ධි කාර්යාලය පුරෝකථනය කරයි.
ලෝකයේ යුද නෞකා නිෂ්පාදනයේ නිරත රටවල් ස්වල්පය අතර මේ වනවිට චීනය ඉදිරියට පැමිණෙමින් සිටින අතර, චීනයේ හමුදා ශක්තිමත් කිරීම සඳහා එරට ජනාධිපති ෂී ජින්පිං 2015 දී පුළුල් වැඩපිළිවෙළක් දියත් කළේ, නෞකා, යාත්‍රා සහ ඒ සඳහා වූ නව තාක්ෂණයන් වෙත වැඩිපුර ආයෝජනය කරමිනි.
ඒ අනුව මේ වනවිටත් චීන නායකයාගේ වැඩපිළිවෙළ ජයගෙන ඇති අතර, චීන භූමියෙන් ඔබ්බට සිය ශක්තිය වඩාත් ප්‍රකට කිරීමට චීනයට අවස්ථාව හිමිව ඇත්තේ චීනයේ නාවික හමුදා බලකාය පමණක් දශක දෙකකදී තුන් ගුණයක ඉහළ යෑමක් පෙන්වමිනි. එසේම දැනටමත් ලොව විශාලතම නාවික හමුදාවට අණදෙන චීන මහජන සමූහාණ්ඩුව නවීන තාක්ෂණයෙන් සන්නද්ධ යුද භටයන්, සබ්මැරීන, ගුවන් යානා ප්‍රවාහන යුද නැව්, ප්‍රහාරක ජෙට් යානා, භූජලචර ප්‍රහාරක නැව්, බැලස්ටික් න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන, විශාල වෙරළාරක්ෂක කටර් සහ ධ්‍රැවීය අයිස් කඩන යන්ත්‍ර සහිත නෞකා ගොඩනගමින් සිටියි.
ඒවායින් සමහරක් එක්සත් ජනපදයට හෝ වෙනත් නාවික බලවතුන් සතු ඕනෑම නාවික ශක්තියකට සමාන හෝ ඊට වඩා උසස් ඒවා බව වැඩිදුරටත් අනාවරණය කෙරෙයි.