වත්මන් සංවර්ධනයේ ප්‍රධාන බාධකය මාර්ග තදබදය බවත් රටේ ජනතාව ණය කරන සංවර්ධන ව්‍යාපෘති නොකරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ, ගොංගාවෙල බස්නැවතුමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“අද නගර සංවර්ධනයේ ප්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පුද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්. රටේ හැම තැනම නගර ඉදිවෙලා, ගෙවල් ඉදිවෙලා. එම නිසා හැකිතාක් පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. එ නිසා අපි නගර 13 ක් හඳුනාගෙන තිබෙනවා උපාය මාර්ගික නගර හැටියට දියුණු කරන්න. එයින් එකක් තමයි මාතලේ නගරය.
අපි අතිවිශාල මුදල් ප්‍රමාණයක් සම්පාදනය කරනවා මහනුවරට. තව අවුරුදු දෙක තුනකින් බලාගන්න පුළුවන් ලෝකයේ තිබෙන දියුණුම බස් නැවතුම්පලත්, දුම්රිය ස්ථානයත් මහනුවරට එනවා. ඒ වගේම දඹුල්ල නගරය ඇත්තටම අපේ අනාගත සැලසුම අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට තමයි ප්‍රධාන නාගරික මධ්‍යස්ථානය, නාගරික කොරිඩෝව ගොඩනැගෙන්නේ.
මහවැලි ව්‍යාපාරය වැනි කිහිප ගුණයක් විශාල ව්‍යාපෘති ගණනාවකට අපි අතගහල තියෙනවා. ඒවායේ ප්‍රතිඵල අනාගතයේදී ලැබෙයි. විශේෂයෙන්ම අපි කියන්න ඕනෙ අපි මෑතකදී හදපු මොරගහකන්නද. එය මීට අවුරුදු පනහකට කලින් සැලසුම් කළ දෙයක්, මහවැලි ව්‍යාපාරය එක්දහස් නවසිය හැට ගණන්වල මුල් භාගයේ. දැන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ."