රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
ඇය 37 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි .
ඇය අද දින දහවල් 1.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ - 1203 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙසේ රැගෙන පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගය පොලිතීන් බෑග් කීපයක අසුරා , ඒවා ඇය විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක , පතුල් වල අලවා ගෙන තිබියදී , රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි .
එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 250 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී ජී.එස්.චන්ද්‍රසිරි , සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඒ.එස්. ගුණවර්ධන , ජේ.එච්.එච්.පී.ගුණසිරි සහ ඩී.එම්.ඩී.සී.බී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන ඩබ්ලිව්.එම්.ඩී.ආර්.ජගත් සහ උපාලි රත්නායක යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .
කටුනායක. ටි.කේ.පි කපිල