හිටපු කර්මාන්ත ,වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පොලිස් නිලධාරීන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් ඒ සඳහා ඊයේ (17දා) සිට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.
ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ලංගම බස් රථ වලින් සිලාවතුර සිට මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට රජයේ මුදල් රුපියල් අනුපන් ලක්ෂයකට අධික මුදලක් වැය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් 13 වෙනිදා නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබිණි .
ඒ අනුව ගණකාධිකාරීවරයෙකු වූ අලගරත්නම් මනෝ රන්ජන් නමැත්තා කිරුළපන ප්‍රදේශයේ දී ද ,අමාත්‍යවරයාට නීතියෙන් ගැලවීමට ආධාර අනුබලදීම යටතේ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයා වැල්ලවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
තවද හිටපු අමාත්‍යවරයා භාවිතා කළ බව කියන සුඛෝපභෝගී ජීප් රථයේ සහ මෝටර් රථයේ රියදුරන් දෙදෙනා එම මෝටර් රථ දෙක 2 ක් සමග වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන එම මෝටර් රථ දෙක පරික්ෂා කිරීමේදී එහි තුළ තිබී පිස්තෝල දෙකක් ,මැගසින් 4 හා ජීව උන්ඩ 48 සොයාගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි විය.