ප්රංශයට අයත් යටත් විජිතයක් වන " රියුනියන් " වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද දින (14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්රී ලංකාව වෙත එවා තිබුණි .
මෙම රියුනියන් දූපත , අප්රිකානු මහාද්වීපයේ , මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටා තිබෙන්නෙකි
මෙම පිරිස මුහුදු මගින් රියුනියන් දූපත වෙත ගොස් , එරටට ඇතුළු වී සිටියදී , ප්රංශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර ශ්රී ලංකාවට එවා තිබුණි .
මෙම පිරිස ප්රංශයට අයත් බෝයිං - 737 - 800 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද දින පස්වරු 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක්ද සිටින අතර , ඔවුන් යාපනය , මීගමුව සහ හලාවත ආදී ප්රදේශවල පදිංචිකරුවෝ වෙති .
මෙම පිරිස සමඟ මෙම ගුවන් යානය තුළ ප්රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ තිබූ අතර , මෙම ගුවන් යානය පස්වරු 4.30 ට පමණ ආපසු පිටත්ව ගොස් තිබුණි .
මෙසේ පිටුවහල් කළ ශ්රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම ශ්රී ලංකාවේ ප්රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර , කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මුළින්ම භාර දී තිබේ .
ඉන්පසු වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
කටුනායක- කේ.පි කපිල