රියදුරු බලපත්‍ර අලුතින් ඉල්ලුම් කිරීමේදී සහ නැවත අලුත් කිරීමේදී ලබාගත යුතු වෛද්‍ය සහතිකය, ප්‍රාදේශිය රෝහල් ඇතුළු රජයේ රෝහල්වලින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ බර වාහන හැර අනෙකුත් සියලු වාහන රියදුරු බලපත්‍ර සඳහා මෙම පහසුකම් වලංගු වන බවයි.
ඒ අනුව මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍යායතනයෙන් පමණක් ලබාගත හැකිව තිබූ මෙම වෛද්‍ය සහතිකය ජනතාවගේ පහසුව උදෙසා මෙලෙස ප්‍රාදේශීය රෝහල් ඇතුළු රජයේ රෝහල් වෙතින් ලබාදීමට තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා,
"රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී සහ අලුත් කිරීමේදී ආර්.එම්.වී. වෛද්‍යායතනයෙන් පමණක් ලබාගැනීමට තිබුණ වෛද්‍ය සහතිකය බර වාහනවලට හැර අනෙකුත් වාහන සඳහා ප්‍රාදේශීය රෝහල්, රජයේ රෝහල්වලින් ලබාදීමට ලබන සතිය ඇතුළත පියවර ගන්නවා.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙය තීරණය කර තිබෙනවා. එලෙස කිරීම අවශ්‍යයි කියලා ජනාධිපතිතුමා අප සමග පැවැති සාකච්ඡාවේදී උපදෙස් දුන්නා. බර වාහන හැර අනෙකුත් රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී රජයේ රෝහල් නැත්නම් ප්‍රාදේශිය රජයේ රෝහල්වලින් වෛද්‍ය වාර්තා ලබාගැනීමේ හැකියාව ඉදිරියේදී ලැබෙනවා. කාටහරි අවශ්‍ය නම් ආර්.එම්.වී. වෛද්‍යායතනයෙන් ලබාගැනීමටත් බාධාවක් නැහැ.
ඉතාම සරලව කිව්වොත් අපට අවශ්‍ය වෙන්නේ හැමදාම බස් එකේ යන කෙනා ගෙනයන ප්‍රවාහන සේවයක් නොවෙයි. කාර් එක අරන් කොළඹට එන කෙනාත්, කාර් එක ගෙදර තියලා බස් එකේ එන්න පුළුවන් ප්‍රවාහන සේවයක්. මේක තමයි අපේ ඉලක්කය. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. අපි අනිවාර්යයෙන්ම ප්‍රවාහන සේවයේ ප්‍රමිතිය සහ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට කටයුතු කරනවා" යනුවෙන්ද පැවසීය.