ගෙවුණු මාස එකොළහ තුළ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මීඋණ ආසාදිතයන් 1128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා ඊයේ (15දා) පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.
එහිදී කරුණු දැක්වූ රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවැසුවේ මේ වසරේ මීඋණ ආසාදිතයන් වැඩිවීමට ප්‍රධානම හේතුව කොරෝනා ව්‍යප්ති සමයේ බොහෝ දෙනෙක් මීඋණ ප්‍රතිජීවක ඖෂධය ලබා නොගෙන පුරන්කුඹුරු අස්වද්දා වී වගාව ඇතුලූ වගා කටයුතු වලට යොමුවීම බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසම් 19න් වැඩිම මීඋණ ආසාදිතයන් ගණන වූ 168ක් කුරුවිට කොට්ඨාසයෙන් වාර්තාවු බවත් ඉන් දෙදෙනෙක් මියගිය බවත් පැවසුවේය. පැල්මඩුල්ල කොට්ඨාසයෙන් 131ක් වාර්තාවූ අතර ඉන් එක් ආසාදිතයෙක් මියගිය බවද කීවේය.
මීඋණ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති දත්ත අනුව එම රෝගය රත්නපුර දිස්ත්‍රික්කයට විශාල තර්ජනයක්ව ඇති බව පැවසූ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ මීඋණ බව තහවුරු කරගත් රෝගින්ගෙන් 99%ක් මඩ ආශ්‍රිතව ගැවසී ඇති පුද්ගලයන් බව ද කීවේය.