රට ආරක්ෂා කරන බවට සඳහන් කරමින් රට භාර ගත් කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇද දමමින් තිබෙන බවත් එය ප්‍රකාශ කිරීමට සිදු වීම වේදනාකාරී අත්දැකීමක් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.
දියුණුව යනුවෙන් සඳහන් කරනුයේ රටේ තිබෙන සියලු සම්පත් විකුණා දැමීම නොවන බවත් රටේ ආත්ම ගෞරවය ආරක්ෂා වන ආකාරයෙන් දේශපාලන ලෝකයේ සියලු දෙනා කටයුතු කළ යුතු බවත් අද (02දා) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධව කටයුතු කළ වත්මන් රජයේ දේශපාලඥයන් වර්ථමානයේ ඊටත් වඩා දරුණු තත්වයකට රට ඇද දමමින් තිබෙන බව සඳහන් කළ කාදිනල් හිමිපාණන්,
රට ආරක්ෂා කරනවා කියලා භාරගත් කණ්ඩායම එය විනාශ කරන මාවතකට රට ඇද දමමින් තිබෙන බව ප්‍රකාශ කරන්නට සිදු වීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක්. ඇත්තටම මේ රට කොහේටද යන්නේ. කවුද මේක පාලනය කරන්නේ. කවුද මේකේ තීරණ ගන්නේ කියන තත්වය පිළිබද ඉතාමත් අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තිබෙන රටක් බවට පත්වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඇත්තටම මේ රටේ පුරවැසියන් වෙනුවෙන් කියන්න තිබෙන දේ තමයි කරුණා කරලා මේ ගමන නතර කරන්න.
දියුණුව කියලා කියන්නේ තිබෙන සම්පත් සියල්ල විකුණා දැමීම නෙවෙයි. තිබෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුලුවන්. නමුත් අපේ ආත්ම ගෞරවය කියලා දෙයක් තිබෙනවා. ආත්ම විශ්වාසය කියලා එකක් තිබෙනවා රටක් ලෙස. එය ආරක්ෂා කර ගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා මේ වෙලාවේ විවිධ රටවල් වලට අපේ භූමිය පූජා කරන්නට ඉදිරිපත් වෙන්න එපා. ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදියට ඒක කරන්න ඕනී. නමුත් මේ හැම දෙයක්ම විකුණා දැමීම රටේ ගෞරවයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මුලින් එම්.සී.සී ගිවිසුම ගැන අපි විරෝධය පළ කළ වෙලාවේ ඒකට ලොකුවට බැඳුනු මේ රජයේ දේශපාලඥයන් අද ඒ තත්වයට වඩා දරුණුවට කරමින් සිටිනවා කියලා පේනවා. ඒ නිසා ඇත්තටම අපි දුක් වෙනවා මේ ගැන යනුවෙන්ද සඳහන් කළේය.