අමෙරිකා එක්සත් ජනපදයට පසුව කොවිඩ්-19 වසංගතය හමුවේ අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ ඊයේ (24දා) දිනයේදී යළිත් මුඛ ආවරණයක් හෝ නොමැතිව වගකීමෙන් තොර හැසිරීමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාට සහාය දක්වමින් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් එරට අගනුවර පැවැත්වූ රැලියක් වෙත මුඛ ආවරණයක් හෝ නොමැතිව ගිය ජනාධිපතිවරයා, ඔවුන්ට ආචාර කරන ආකාරය එරට මාධ්‍යවල දැකගත හැකිවිය.
මෙම අවස්ථාවට බොල්සොනාරෝ රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් සහ කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගී වි තිබේ.
කිසිදු සමාජ දුරස්ථකරණයක් නොමැතිව රැස්කකා සිටින ඔහුගේ ආධාරකරුවන් වෙත පැමිණෙන ජනාධිපතිවරයා ඔවුන්ට ආචාර කරමින් ගමන් කරන වීඩියෝ දර්ශන දැකගත හැකිය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් පමණක් මුඛ ආවරණ පැළඳ සිටින අතර, ඔහුගේ මේ මෝඩ ක්‍රියාව ඡායාරූප ගත කිරීමට ඔහුගේම ප්රචාරක ව්‍යාපාරයේ පිරිස් ලහි ලහියේ උත්සුක වන ආකාරයද දැකගත හැකිය.
බ්‍රසීල මාධ්‍ය පවසා සිටියේ ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණෙන විට මුඛ ආවරණයක් පැළඳ සිටියද, ඔහු තම ආධාරකරුවන්ට සමීප වනවිට මුඛ ආවරණය ගලවාගෙන පැමිණි බවයි. ඔහු හිටි හැටියේම මෙම ස්ථානය වෙත පැමිණ පාක්ෂිකයන් පුදුම කරන අවස්ථාවක නාටකයක් රඟ දැක්වුණු බවද බ්‍රසීල මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ඔහු මේ ආකාරයෙන් සිය ආධාරකරුවන් අතරට යනවිට ඔහුගේ කැබිනට් අමාත්‍යවරයෙකු වන ජෙනරාල් ඔගස්ටෝ හෙලේනෝ විසින්, "අපි මේ යුද්ධය ජය ගන්නවා" යැයි කියනු ඇසෙයි.
"මෙය පාලනය කළ අවදානමක් බවත්, සෑම දෙයක්ම සාර්ථක වනු ඇති" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසන ආකාරයද ඇසෙයි.
ජෙයර් බොල්සොනාරෝ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය කවරක් කීවද මේ වනවිට බ්‍රසීලය තුළ දැකිය හැකි වන්නේ පාලනය කළ හැකි තත්ත්වයක් නොවන බව එරට සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයෙන් ආසාදිතයන් 363,211ක් වාර්තා වන අතර, එය දෙවැනි වන්නේ වැඩිම ආසාදිත අගයක් වාර්තා වන ඇමෙරිකාවට පමණි.
එසේම බ්‍රසීලයේ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 22,666ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූවන් 149,911කි.
ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ද, බ්‍රසීලය ජනාධිපතිවරයාගේ ගුණ වයමින්, බ්‍රසීලය සමග තවදුරත් සබඳතා පවත්වන බවට මීට පෙර කියා සිටියද, ඊයේ නිවේදනයක් නිකුත් කළ වොෂිංටනය කියා සිටියේ ඉදිරි දින 14ක කාලය තුළ බ්‍රසීලයේ කිසිවෙකු ඇමෙරිකාවට වද්දා නොගන්නා බවයි.