2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්රජාතන්ත්රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙලේ පානදුර මැතිවරණ කොට්ඨාසය අද (10) ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.
වත්මන් රජය සිදු කළේ කුමක්දැයි අද ඇතැම් අය විමසා සිටින බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත වූ කෙටි කාලය තුළ රට සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාවට නංවා ඇති බවත් එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බවත් පැවසීය.
සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙල අද දිනයේ පුරා කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාසවල ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ වැඩපිළිවෙල යටතේ පාක්ෂිකයින් මෙන්ම සෙසු ජනකොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බලමින් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොට්ඨාසයෙන් කොට්ඨාසයට ගියේය.
අද පෙරවරුවේ පානදුර පැවැති වැඩසටහනෙන් අනතුරුව සිරිකොත ගම ගෙන යෑමේ දෙවන පියවර හොරණ නගරයෙන් ආරම්භ විය. පානදුර සිට තට්ටුදෙකේ විවෘත බස් රථයකින් හොරණ නගරය වෙත වික්‍රමසිංහ මහතා පැමිණියේ මඟ දෙපස රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් ජනතාවගේ ප්රිති ඝෝෂා මධ්‍යයේය.