රජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වීමෙන් පසුව අද (13) වනදා මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා ,
“අපේ පක්ෂය ඉතාම වැදගත් පක්ෂයක්. මේ පක්ෂයේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒ මහත්මා දේශපාලනය අනුව ඩී.එස්.සේනානායක මහතාගේ පටන් මේ දක්වා සියලු නායකයින් ආරක්ෂා කළ ඒ වටිනා පක්ෂය ඉදිරියටත් ඒ ආකාරයටම ගෙන යන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.
පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ විවිධ මත ප්‍රකාශ වෙනවා. විපක්ෂ නායක තුමාගේ කාර්යභාරය පිළිබඳව ඒ වගේම ජ්‍යෙෂ්ඨ නායකයින් කොයි විදිහටද මේකට සම්බන්ධ කර ගන්නේ කියලා. දක්ෂතා තියෙන නවක මන්ත්‍රීවරු ඔක්කොම එකතු කරගෙන ජයග්‍රහණය කරා යන්නයි අපි බලන්නේ. ඒ සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවක් පැය ගණනාවක් සිරිකොතදී පසුගියදා පැවැත්වූවා. මන්ත්‍රීවරුන් තිස් ගණනක් විවිධ අදහස් එහිදි දැක්වූවා. අවසානයේදී සියලු දෙනාගේ තීරණය වුණේ ඉතා ඉක්මනින් ආණ්ඩු බලය අරගෙන ජයග්‍රහණය කරා යන්න පුළුවන් ජනතා විශ්වාසය දිනාගත් පක්ෂයක් බවට පත් කරන විදිහ ගැනයි. ඒ සාකච්ඡාවේදී අවසන් තීරණයකට ආවා ලබන බ්‍රහස්පතින්දාට නැවත මුණ ගැහිලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඔක්කොම සාකච්ඡා කරලා කාගෙත් අදහස්වලට සවන් දිලා වඩාත් ප්රජාතන්ත්රාවාදීව මේ පක්ෂය ගොඩනගන්න පුළුවන් ශක්තිමත් කරන්න පුළුවන් පුද්ගලයන්ට වගකීම් පවරන්නත් වෙනස්කම් කරන්නත් ජනතාව ඉල්ලන දේ යන සියල්ල පිළිබඳ අවධානය යොමු කරල අවසන් තීරණයකට එළඹෙන්න පුළුවන් කියන විශ්වාසය අපට ඇවිත් තියෙනවා.
මේ දවස්වල සියලු දෙනා බලාපොරොත්තු වන පක්ෂය ජයග්‍රහාහී පක්ෂයක් ලෙසට පත් කර ගන්නට අවශ්‍ය වෙනස්කම් සිදු වන ආකාරය සොයා බැලීම ඉතා වැදගත් . ඊට පස්සේ පක්ෂවල නායකයින් කෘත්‍යාධිකාරි මණ්ඩල ඒවා රැස්වුණාට පස්සේ ඕනම පුද්ගලයින් පිළිබඳව විනය කඩ කළා නම් පක්ෂයට හානියක් වෙනවා නම් ඒ පළිබඳව ක්‍රියා කිරිමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඕන පුද්ගලයෙක් වරදක් කරල තියෙනවා නම් පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධිකරණයට භාර දීම කළ යුතුයි.
අපි එක්සත් ජාතික පක්ෂය හැටියට උත්සාහ කරන්නේ මේ පක්ෂය ආරක්ෂා කර ගෙන පක්ෂය තවත් ශක්තිමත් කර ගෙන අවශ්‍ය වෙනස්කම් සියල්ල සිදු කරලා ජනතාව ඉල්ලන දේ ලබා දීලා ජනතාවාදී පක්ෂයක් ලෙස මේ පක්ෂය නැගිට්ටවන එක තමයි අපේ අපේක්ෂාව. නමුත් යම් යම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා තමන් බලාපොරොත්තු වන දේ ඉෂ්ඨ නොනුනොත් අපි මේ මේ විදිහට කල්පනා කරනවා කියන අදහසුත් ප්‍රකාශ වෙනවා.
අපි වගකිව යුතු විපක්ෂයක් ලෙස සාම්ප්‍රදායික විපක්ෂයක ක්‍රියාකලාපයෙන් ඔබ්බට ගිහිල්ලා වර්තමාන විපක්ෂනායක තුමා පාර්ලිමේන්තුවේදී වැදගත් ප්‍රකාශයක් කළා ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී. රජය ජනතාවට බොහොම සහන දෙන පොරොන්දු රාශියක් ලබා දුන්නා. ජනතාව ඡන්ද පොළට ගියේ විවිධ පුද්ගලයින් විවිධ බලාපොරොත්තු හිතේ තියාගෙන. වතු කම්කරුවා ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට ගියේ රුපියල් 1000 ක වැටුපක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අපි කිව්වා. ඒ වතුකම්කරුවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළට යා යුත්තේ රුපියල් දාහ ලබන වතු කම්කරුවකු හැටියට කියලා ඒකට අවශ්‍ය සහාය දෙන්න අයවැයක් ගෙනාවොත් කොන්දේසි විරහිතව වගකිව යුතු විපක්ෂයක් හැටියට සහාය දෙන්න අපි සූදානම්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මහනුවර - මොහොමඩ් ආසික්