පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට සති 08කදී රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දී මේ වනවිට සති 16ක් ගතව ඇතත්, ඇතැම් රාජ්‍ය ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සියලු රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා ලබාදෙන ලෙසට තමන් ජනවාරි 24 වැනිදා සියලු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ජාතික ආධුනිකත්ව මණ්ඩලය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල ගිණුම් වාර්තා මෙතෙක් ලබා දී නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මාර්ග සංවර්ධන අධිකාරිය, වී අලෙවි මණ්ඩලය, උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, ලංකා ගමනාගමන මණ්ඩලය, මිල්කෝ ආයතනය, පශු සම්පත් මණ්ඩලය යන ආයතන ඒවායෙහි ගිණුම් වාර්තා ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඇමතිවරුන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග බලවත් කළද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.