බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, රැජිනගේ වැඩිමහල් පුත් ඔටුන්න හිමි චාල්ස් කුමරු නව කොරෝනා වෛරස පරීක්ෂණයේදී ධනාත්මක බව තහවුරු වීමත් සමගිනි.
ඒ අනුව රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරු මේ වනවිට ලන්ඩනයෙන් පිටත වින්ඩ්සර් මාලිගයේ රැඳී සිටින අතර චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් හි රැඳී සිටින බවද කියයි.
කෙසේ වෙතත් 93 හැවිරිදි වියේ පසුවන දෙවැනි එළිසබෙත් රැජින සමග චාල්ස් කුමරු අවසන් වරට සම්බන්ධ වූයේ පසුගිය මාර්තු 12 වැනි දින බකිංහැම් මාලිගයේදී මහජන සම්මාන උළෙලකදීය.
ඒ හා සමානවම, ඔහු ලන්ඩනයේ පැවති ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි සහන සේවා සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබුණි.
මේ අතර චාල්ස් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ලන්ඩනයේ රාජකීය ක්ලැරන්ස් මාලිගය කියා සිටියේ, "වේල්සයේ කුමරු නව කොරෝන වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබෙනවා. ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවෙනවා. කුමරු සුපුරුදු පරිදි පසුගිය දින කිහිපය පුරාම මාලිගයේ සිට වැඩ කරමින් සිටියා." යනුවෙනි.
"කෝර්න්වෝල් හි කැමිලා පාකර් ආදිපාදවරිය පරීක්ෂාවට ලක්කළා. නමුත් ඇයට වෛරසය ආසාදනය වී නැහැ. රජයේ හා වෛද්‍ය උපදෙස් අනුව කුමරු සහ ආදිපාදවරිය දැන් ස්කොට්ලන්ත මාලිගයේදී ස්වයං නිරෝධායනයක පසුවෙනවා. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය විසින් ඇබර්ඩීන්ෂයර් හිදී ඔවුන් පරීක්ෂා කරනු ලැබුවා."
"මෑත සතිවලදී කුමරු සිය පොදු කාර්යභාරයන් රැසකට සහභාගී වූ නිසා ඔහුට වෛරසය වැළඳී ඇත්තේ කාගෙන්දැයි නිශ්චය කළ නොහැකියි." යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මේ අතර බකිංහැම් මාලිගය පවසා සිටියේ, රැජන හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.