ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්යක්ෂ ජනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය එම තනතුරෙන් ඉවත් කොට ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට ගෙන ඇති ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණය හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටීමට ලක්කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
රේගු අධ්යක්ෂ ජෙනරාල් ඉවත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී දින 07ක් ගතව තිබුණද ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ ආණ්ඩුව කිසිදු නම්‍යතාවයක් දක්වා නොමැති බවද රාජපක්ෂ මහතා පැවසීය.
රේගු සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට මුළුරටම අකර්මන්‍ය වී ඇති බවත් මේ හේතුවෙන් රජයට සිදුවන පාඩුව බිලියන 03කට වැඩි බවත් හෙතෙම සඳහන් කළේය.
තම දෙස්විදෙස් දේශපාලන හිතවතුන් සැනසීමේ ආණ්ඩුවේ හිතුවක්කාරී වැඩපිළිවෙළ නවතා දමා මෙම ප්රශ්නය විසදීමට වහාම කටයුතු කරන ලෙස රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.