මේ රට පාලනය කළ සියලු පාලකයන් දිගින් දිගටම තමන්ව රවටමින් සිටින අතර රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න ගැන කියවමින් සිටිමට නොව නිසි වැඩ පිළිවෙලක් තුළින් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට බවත් පාලකයන් හැමදාමත් තරුණ ප්‍රශ්න කුණු කූඩයට දමනවා නම් එවන් ආණ්ඩු හා පාලකයින්ව කුණු කූඩයට යැවීමට තම සංගමය පෙරමුණ ගන්නා බවත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (05)දා සවස හාලිඇළදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.
මේ රටේ වසරකට තරුණ තරුණියන් දස දහසක් පමණ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා පිටවෙනවා. ඒත් මේ අය රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් තාමත් සැකසී නෑ.
අද වන විට උපාධිධාරියාට රැකියාවක් ලබාදීම මැතිවරණ වේදිකාවේ සැරසිල්ලක් පමණයි. මේ වන විට උපාධිධාරීන් පනස් දහසකට වැඩි පිරිසක් රැකියා විරහිතව සිටිනවා. ඒත් පසුගිය කාලයේ ආරම්භවූ සංවර්ධන නිලධාරී හා ව්‍යාපෘති නිලධාරී පත්වීම් ලබාදීමත් නවත්වා තිබෙනවා. ඒත් ආරම්භ කළ බඳවා ගැනීම් අඛණ්ඩව කරගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආණ්ඩුකාරවරුන්ට බලය තිබෙන බව මැතිවරණ කොමිසම පවා පැහැදිලිව කියනවා.
සංවර්ධන නිලධාරී පත්වීම් 3000 ක් හා ව්‍යාපෘති නිලධාරී පත්වීම් 10,000 ක් සඳහා මුදල් අනුමත වී තිබුණත් දුන්නේ ඉන් කොටසක් පමණයි. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ඉතිරි පත්වීම් ලබාදෙන බවයි.
මැතිවරණය අපට කිසිසේත් අදාළ දෙයක් නොවේ. අපි කියන්නේ දෙන්න පටන්ගත් පත්වීම්වල ඉතිරි ටික හෝ දෙන්න. ඒකට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය තිබෙනවා. ඔවුන් මේ කරන්නේ නීතිවිරෝධී සදාචාර විරෝධී වැඩක්. අපට පත්වන ජනාධිපති කවුද කියන එක වැදගත් නෑ. ඔය කිසි කෙනෙකුට මේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවංක වුවමනාවක් නැති බව අපි දන්නවා. අපි කියන්නේ සියලු උපාධිධාරීන්ට රැකියා ලැබෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න. අපි මේ ගැන ජනාධිපති අගමැති ඇතුළු සියලු බලධාරීන්ට ලිපි සිය ගණනක් යැව්වා. අඩු තරමේ අපට පිළිතුරක්වත් සාකච්ඡාවක්වත් දුන්නේ නෑ. එහෙම කරන ගමන් ඒ අය ටීවී එකේ කියන්නේ අපි සාකච්ඡාවලට එන්නේ නෑ. අපි ප්‍රචණ්ඩයි. එන්නෙ හැප්පෙන්නයි කියලයි. මේ විදිහට සලකනකොට අපි ප්රචණ්ඩ වීම පුදුමයක්ද.
අපට මැතිවරණ නීති අදාළ නෑ. අපට අදාළ යුක්තියේ නීතිය විතරයි. මේ ආණ්ඩුව කිසිම ආණ්ඩුවක් නොකළ විදිහට චක්රෙල්ඛයකින්ම උපාධිධාරීන්ව බෙදුවා බාහිර අභ්‍යන්තර කියලා. දෘෂ්‍යාබාධිත, ශ්‍රවනාබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන්ට ලබාදුන් සියයට තුනේ රැකියා කෝටා එකත් මේ ආණ්ඩුව කැපුවා. එහෙමයි මේ පාලකයන් අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ.
ඡන්ද වේදිකාවල පොරොන්දු අපට ඕන නෑ. සජිත්ගෙවත් ගෝඨාභයගෙවත් අගුපිල්වල ලගින්න අපි එන්නේ නෑ. ඔය කවුරු ආවත් අපට ඉතිරි වන්නේ පාරේ සටනක් පමණයි. 17 වැදාට පස්සෙත් අපේ ප්‍රශ්න අරගෙන අපි පාරට එනවා. අපට මේ ප්‍රශ්නෙට ප්‍රතිපත්තිමය විසඳුමක් ඕනෑ.
අකිල විරාජ් ඇමතිම කියනවා රට පුරා 40, 000 ක් ගුරු පුරප්පාඩු තියෙනවාලු. මේ රටේ පාසල් දුවන්නේ ගුරුවරුන් 40 ,000ක් අඩුවයි. ඒ අතරේ ගුරු විභාග සමතුන් 15, 000 ක් පළාත් හතක රැකියා ඉල්ලමින් හඬනවා. පාරවල් ගානේ ගුටි කනවා. නින්දා අපහාස ලබනවා. අපි කියන්නේ ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්න කියව කියවා ඉන්න නොවේ. නිසි වැඩපිළිවෙලක් හදා ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි. ඒ විසඳුම ලැබෙන තුරු අපි අරගල කරනවා. ඉදිරියටත් අපි පළාත් නවයම එකතුව අලුත් අරගලයක් පටන් ගන්නවා. පාලකයන් හැමදාමත් තරුණ ප්‍රශ්න කුණු කූඩයට දානවානම් ඒ වගේ පාලකයන් හා ඒ වගේ ආණ්ඩු කුණු කූඩයට දාන්න අපි පෙරමුණ ගන්නවා.
ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සංවිධායක සුමිත් සංජීව මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර එම සංගමයේ සාමාජිකයින් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
හාලිඇල - විජේරත්න රත්නායක