මහ මැතිවරණ ජයග්රහණයෙන් පසු කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ කාන්තාවන්ට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්, කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් නව රැකියා උද්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන් සඳහා වන ප්රතිපත්ති ප්රකාශයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (21දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ලක්වනිතා සංගමයේ විශේෂ හමුවකට එක්වෙමිනි.
"නවතම වාර්තා අනුව කොරෝනා වෛරසයෙන් වැඩිපුරම බලපෑම් ඇතිවන්නේ කාන්තාවන්ටයි. මේ නිසා කාන්තාවන් බොහෝ පිරිසකගේ රැකියා අහිමි වීමට නියමිතයි. මේ වනවිටත් කාන්තාවන් බොහෝ පිරිසක් රැකියා කරන ඇඟලුම් කර්මාන්තය අනතුරට ලක් වී තිබෙනවා. කර්මාන්ත ශාලා වැසී ගොස් තිබෙනවා. ඇතැම් කර්මාන්ත ශාලා නැවත විවෘත කරන්නට හැකියාවක් නැහැ.
මැදපෙරදිග කාන්තාවන්ට සිය රැකියා අහිමි වී තිබෙනවා. බොහෝ ආයතනවල ස්ථිර නොකළ සේවකයන් ඉවත් කර තිබෙනවා. ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා මෙම අර්බුදයේ දැඩි බලපෑමක් කාන්තාවන්ට තිබෙනවා. අප රට මුහුණදෙන ප්රධානතම ප්රශ්නය වන්නේ කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයයි. ආර්ථිකය ගොඩගත් පසු කාන්තාවන්ගේ ප්රශ්න විසඳීමට අපට හැකියාව තිබෙනවා.
රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වනු ඇතැයි අප ගණන් බලා තිබෙනවා. ඔවුන් සඳහා රුපියල් 10,000 බැගින් මසකට ලබාදීමට අපි කටයුතු කරනවා. රැකියා අහිමි වෙන කාන්තාවන් සඳහා වෙනත් ආදායම් මාර්ග බිහි කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම රැකියාවලින් ඉවත් කෙරෙන කාන්තාවන් සඳහා වන්දි මුදලක්ද ලබාදීමට කටයුතු කළ යුතුයි. අපේ බලාපොරොත්තුව එයයි."යනුවෙන්ද වික්රමසිංහ මහතා ප්රකාශ කළේය.