යු.එන්.පී. හා ශ්‍රී ලංකා කියන පක්ෂ දෙක එකතුවෙලා අවුරුද 71ට මහා ණය කන්දක් ඇති කර තිබෙන බවත්, මේ දෙගොල්ල එහෙම ගත්ත මුලු ණය ප්‍රමාණය විගණකාධිපතිවරයා කියන විදිහට, රුපියල් ට්‍රිලියන 11.1 ක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ, මස්කෙළිය ආසනබල මණ්ඩල රැස්වීමේ නව නිලධාරි මණ්ඩලය තේරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවති ජන හමුවේදී විජිත හේරත් මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හේරත් මහතා,
“ශ්‍රී ලංකාවේ සියලු පළාත්වල ක්‍රියාකාරි දේශපාලන පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ඉතා වේගයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා. රටේ කොතනද සටනක් තියෙන්නේ ඒ සෑම තැනම ජ.වි.පෙ. ඉදිරියෙන් සිටිනවා. ගොවියන්ගේ පොහොර මිල, වී මිල, ඒ අයගේ දෛනික ගැටලු සම්බන්ධව ජ.වි.පෙ. සිටිනවා.
සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය ඉදිරියෙන් සිටිනවා. වැඩ කරන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- දක්වා වැඩිකිරීමේ සටනේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ජ.වි.පෙ. සැබෑ ජනතා නියෝජිතයින් ලෙස සිටිනවා.
මේ රටේ ධීවර ප්‍රජාවගේ ප්‍රශ්න වලදී ඉදිරියෙන් ඉන්නේ ජ.වි.පෙ. සමස්ත ලංකා පොදු ධීවර සංගමය. අද රටේ පුද්ගලික අංශයේ හැත්තෑ ලක්ෂයක් වන ජනතාවගේ වැටුප් ප්රශ්නයේ, ජීවන අරගලයේ ඉදිරියෙන් ඉන්නේ අපි. රජයේ සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 10,000/- කින් වැඩි කරන්න, රාජ්‍ය සේවකයගේ අහිමි කරපු විශ්‍රාම වැටුප රැකගන්න, රාජ්‍ය සේවකයින්ගේ සැබෑ වෘත්තීය අයිතිවාසිකම් රැකගන්න පෙනී සිටින රටේ දැවැන්තම වෘත්තීය සමිතිය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ලෝකයේ රටවල් 29 ක් පුරා ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය දායකත්වයක් සපයමින් දේශපාලන කටයුතු වල නිරතව සිටිනවා.
දවසින් දවස මේ රටේ දේශපාලන ගමන වෙනස් කිරීමේ කඩඉම දක්වා සාර්ථක ගමනක ජ.වි.පෙ. ගමන් කරමින් සිටිනවා. නමුත් අපේ පක්ෂය දවසින් දවස ශක්තිමත් වෙමින් ඉදිරියට ආවට අපේ රට එහෙම එන්නේ නෑ. අපේ ඇස් ඉදිරිපිට අපේ රට කඩාගෙන වැටෙනවා. ගෙවුණු වසර 71 තුළ අපේ රට දවසින් දවස වළ පල්ලට වැටෙමින් පවතිනවා. මේක දැන් මඩේ එරුණ කරත්තයක් වගේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.