දකුණු චීනයේ යැංසි ගංගාව ආශ්‍රිතව ඇති වී තිබෙන විශාල ගංවතුර තත්ත්වය ලෙෂාන් හි දැවැන්ත බුද්ධ ප්‍රතිමාවේ සිරිපතුල් ආසන්නයට පැමිණ නතර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැක්වෙයි.
ආසන්න කාල සීමාවේදී මෙවැනි විශාල ජලගැලීමක් වාර්තා වී නොමැති අතර, චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට අවම වශයෙන් එය දශක හතකින් පමණ පසු වාර්තා වන තත්ත්වයකි.
අඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙයි කන්දෙහි කඳු බෑවුමක කැටයම් කරන ලද අතර, එය චීනයේ සිචුවාන් පළාතේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක කොටසකි.
බොහෝ විට මෙම බුද්ධ ප්‍රතිමාව යැංසි ගංගාවට ඉහළින් පවතිර අතර සංචාරකයින් ප්‍රතිමාවේ පාමුලට පැමිණ වන්දනාමාන කිරීම සුලභ දසුනකි. නමුත් ඉහළ යන ජලයට ප්‍රතිචාර වශයෙන් සඳුදා මෙම ප්‍රදේශය වන්දනාකරුවන් හා සංචාරකයන් සඳහා වසා දමා තිබුණි. ආරක්ෂක තක්සේරු කිරීම් සිදු කිරීමෙන් පසු එය මේ සතිය අගදී නැවත විවෘත වනු ඇතැයි බලධාරීහු බලාපොරොත්තු වෙති.
ගිම්හාන සමයේදී මෙවැනි ගංවතුර කලාපය තුළ සුලභ නොවුණත්, මෑත මාසවල ගංවතුර තත්ත්වයක් දක්නට ලැබුණු බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
චීනයේ පිහිටි යැංසි ගඟ ආසියාවේ දිගම ගඟ වන අතර ලොව තුන්වැනියට දිගම ගඟද වේ. යැංසි ගඟ කිලෝමීටර් 6,300ක දිගින් යුතුය.