හොරොව්පතාන පොලිස් වසමේ හබගම ප්රදේශයේ, යාන් ඔයේ දිය යට සගවා තිබූ, තවත් ගිනිඅවි කොටස් කීපයක් හා උණ්ඩ රැසක් නාවික හමුදා කිමිදුම් භටයන් විසින් ඊයේ දින සොයා ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුව තලෙයි මන්නාරම නාවික හමුදා කඳවුරේ ලුතිතන් (මැරින්) ආර්.පි.බි.රාජරත්න මහතා ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් යාන්ඔය ජලය යට සිදුකළ මෙම මෙහෙයුමේදී ටී පනස් හය උණ්ඩ 976ක්, ටොම්බා බොම්බ 02ක් ,ඩෙටනෙටර් 14ක්, හඳුනා නොගත් පතොරම් ගැබ් 02ක, එල්.එම්.ජි. පතුරම් රහිත වැල් 03ක්, සොයා ගත් බව පොලීසිය පවසයි.
පෙරේදා (12)දහවල් 11.00 ට පමණ ආරම්භ කළ මෙම අවි කොටස් සෙවීමේ මෙහෙයුම සවස් වන තුරුත් සිදු කළ අතර, තවදුරටත් දිය යට අවි කොටස් ඇති බවට සැක කරන බැවින්, ඉදිරියේදී ද නැවත කිමිදුම් භටයන් යොදවා දිය යට පරික්ෂා කිරීමට කටයුතු කරන බවද පොලීසිය පවසයි.
මීට පෙරද යාන් ඔයේ දිය යට තිබී ගිනිඅවි කොටස් හා උණ්ඩ තොගයක් ඉකුත් 30 දා සොයා ගනු ලැබ ඇත.
අනුරාධපුර - පී.බී චතුරංග