හබරණ ,කැකිරාව ,දිගම්පතහ , සිගිරිය, මරදන්කඩවල ,ආදී ප්‍රදේශවල යතුරුපැදි සොරකමේ නිරතව සිටි බව කියන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක තිදෙනකු අද (16) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයන්තිපුර , ගිරිතලයේ ,හිඟුරග්ගොඩ ,යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලීසිය පවසයි.
හබරණ පොලීසියේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද යතුරුපැදි අටක් සොයාගත් බවද පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම පුද්ගලයන් සමඟ තවත් කිහිප දෙනෙකු එක්ව මෙම සංවිධානාත්මකව යතුරුපැදි සොරකම කාලයක සිට සිදු කරගෙන පැවැති බවත් ඒවා අලෙවි කළ ස්ථාන රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව අලෙවි කරන ලද සහ කොටස් කරන ලද යතුරුපැදි සොයා අද දින විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව හබරණ පොලීසිය පවසයි.
විවිධ ප්‍රදේශවලට ගොස් කුලී වැඩ කරන කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් ඉතා සූක්ෂම ලෙස නවතා ඇති යතුරුපැදි සොරාගෙන එකිනෙකා අතේ පිටත් කොට යැවීම මෙම කණ්ඩායම විසින් සිදුකරන බව හෙළිවී තිබේ.
මෙම සැකකරුවන් පිළිබඳව සහ ඔවුන් විසින් වෙනත් පොලිස් බල ප්‍රදේශයන්හි යතුරුපැදි සොරකම් කර ඇත්දැයි සොයා බැලීම සඳහා ද අවශ්‍ය පියවර ගන්නා බව හබරණ පොලීසිය කියයි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.