ව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පළා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු අද(20) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම වියට්නාම් ජාතිකයන් පස් දෙනා 30 හැවිරිදි වියේ පසු වන තරුණයන් සිවුදෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විත වේ .
ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 වන දින අලුයම 12.40 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.බී.- 185 දරන ගුවන් යානයෙන් 60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමඟ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන්පසුව මෙම පිරිස අද දින දහවල් 11.05 ට යූක්‍රේනය බලා පිටත්ව යන යූක්‍රේන ගුවන් සේවයේ පී.එස්.- 388 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ගුවන් තොටුපළට පැමිණි මොවුන් අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර , මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන්යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබේ .
කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිවු දෙනා සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව , ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි ඉතිරි ගුවන් මගියා ද යානයෙන් බස්සවා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන , විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
ඉන් අනතුරුව මෙම වියට්නාම් ජාතිකයන් පිරිස වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල