දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ''ඩීල්'' වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසේන ගමගේ මහතා පවසා සිටියේ 1989 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකට පාර්ලිමේන්තුවට පැමිණ මේ දක්වා ම තමා සමීප ව කටයුතු කරමින් සිටින බවයි. ඒ නිසා ම ජනාධිපතිතුමා යටතේ ඇති මෙම අමාත්‍යාංශයේ වගකීම් ද තමා කෙරෙහි තැබූ දැඩි විශ්වාසය නිසා පවරා දී ඇති බව පියසේන ගමගේ මහතා පෙන්වා දෙයි.
තව ද පසුගිය ආණ්ඩුව ගෙන ගිය අධූරදර්ශී පාලනයට තිත තබමින් ජනාධිපතිතුමා ගත් මෙම එඩිතර තීන්දුවේ දී ද කිසිදු පැකිලීමකින් තොරව තමා ජනාධිපතිතුමා සමඟ සිටගන්නා බව ඒ මහතා අවධාරණය කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ තිබූ මෙම උත්සවයට පියසේන ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන් ම ගාල්ල දිස්ත්‍රික්කය හා හිනිදුම ආසනයේ හිතවතුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
කෂිනි හපුආරච්චි