වසංගතය ආරම්භ වූ දා සිට මහා බ්‍රිතාන්‍ය විසින් වාර්තා කළ ඉහළම ආසාදන සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 41,385ක් ගෙවුණු සඳුදා දිනයේ වාර්තා කර තිබේ.
රජයේ දත්තවලට අනුව තවත් 357ක් වෛරසය ආශ්‍රිතව එදින මියගොස් ඇත.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඉවෝන් ඩොයිල් පැවසුවේ එංගලන්තයේ කොවිඩ්-19 ආසාදනය ඉතා ඉහළ මට්ටමක් කරා පැමිණ ඇති බවය.
මෙය සිදුවන්නේ එරට රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් රෝහල් වඩාත් අවදානමට ලක්ව ඇති අවස්ථාවක බවත්, බොහෝ ප්‍රදේශවල නව ඇතුළත් කිරීම් ඉහළ යමින් පවතින බවත් ඩොයිල් තවදුරටත් පැවසීය.
එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයෙහි සංඛ්‍යාලේඛන වලට අනුව රෝහල් ඇඳන් 20,426ක් මේ වනවිට තහවුරු කර ඇති කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී පවතී.
මෙසේ පෙර නොවූ විරූ මට්ටමේ ආසාදන තිබියදීත්, එරටට යම් බලාපොරොත්තුවක් ඇත්තේ එන්නත් වැඩසටහන තුළ බව ඩොයිල් සඳුදා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එක්සත් රාජධානිය ෆයිසර් - බයෝ එන්ටෙක් එන්නත සමග එරට එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත දින කිහිපයකින් එක්සත් රාජධානියේ නියාමන අනුමැතිය ලබා ගැනීමට සූදානමින් පවතී. එය ජනවාරි 4දා වනවිට ක්‍රියාත්මක කළ හැකි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.