කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්රදේශයේදී හමුවු මිනිස් අස්ථි හා ආයුධ කොටස් හමුවූ ස්ථානයේ ඊයේ සහ අද (23) දිනයන්හි සිදු කරන ලද තවත් කැනීමකදී එල්.ටී.ටී.ඊ.සංවිධානයේ නිලඇඳුම්, ආයුධ හා මිනිස් අස්ථි කොටස් බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
පසුගිය මැයි 22 වනදා අදාල ස්ථානයේ මුහමාලෙයි බිම්බොම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත රාජ්ය නොවන සංවිධානයකට බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනිඅවි කොටස් කිහිපයක් සමගින් මිනිස් අස්ථි කිහිපයක්ද හමුවූ අතර පසුව කිලිනොච්චිය මහේස්ත්රාත් ටී. සර්වනරාජා මහතාගේ ප්රධානත්වයෙන් මැයි 26 වනදා සහ ජුනි 02 වනදා අදාල ස්ථානයේ පළමු සහ දෙවන අදියරේ කැනීම් කිරීමට කිලිනොච්චිය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.
එම කැනීම් වලදීද යුද උපකරණ රැසක් , කොටි සාමාජිකයින්ගේ නිලඇඳුම් හා අස්ථි කොටස් කිහිපයක් හමු විය.
අනතුරුව ඊයේ (22) දින සහ අද දිනයේදී නැවතත් කිලිනොච්චිය මහේස්ත්රාත් වරයා ඉදිරියේදී කැනීම් සිදු කිරීමට නියමිත අතර ඊයේ දිනයේදී සිදු කරන ලද කැනීම් වලදීද අත්බෝම්බ තුනක්, ටී.56 ගිනිඅවියක්, කොටි සාමාජිකයින් පළඳින ලද සයිනයිඩ් කරලක්, ගෙලෙහි පළඳන ටැග් එකක්, එම සංවිධානයේ නිලඇඳුම් කිහිපයක්, කොටි නායක ප්රභාකරන්ගේ ඡායාරූපයක් හා මිනිස් අස්ථි බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇත.
අද දිනයේද වැඩිදුරටත් කැනීම් සිදු කරන බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.