රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කිසිවෙකුටත් අවස්ථාව නොදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
"රටට විශාල උවදුරක් බවට පත් වෙමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කලා. එක්වරම විසඳන්නට අපහසු වුනත් මත්ද්‍රව්‍ය උවදුරත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා. මේ උවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.
අපේ කම, අපේ සංස්කෘතිය, ජාතිකත්වය ගැන කතා කිරීම අපහාසයට උපහාසයට ලක් වීමට හේතුවක් වූ යුගයක් අපි පසු කලා. අපි ඒ තත්ත්වය වෙනස් කලා. සෑම ජාතිකයෙකුටම, සෑම ආගමිකයෙකුටම, තම අනන්‍යතාවය රැකගෙන අනෙකෙකුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් මේ ටික කාලයක් තුලදී අපි ගොඩ නැඟුවා.
පසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා.
අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා."