මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන ඇතැයි අද අණාවරණය විය.
අදාළ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු දැනුමක් තිබී නොමැති බවත් අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගත් පිරිසේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව වැය කර ඇති මුදල රුපියල් මිලියන 7000ක් බවත් අද අණාවරණය වූයේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත අධ්යක්ෂධූර සංඛ්‍යාව 11 කි. එහෙත් පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැතැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවසීය. අනුමත සහකාර අධ්යක්ෂධූර ගණන 38කි. එහෙත් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ එක් අයෙකු පමණි. මෙවැනි තත්වයක දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ නොහැකි බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80ක් පමණ වේ. පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටිති. විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිළි කළේය