මුලතිව් දිස්ත්රීක්කයේ ගෙවුණු වසර 10 ක කාලය තුළදී නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කෙරෙන වැලි ගොඩ දැමීම් හේතුවෙන් පාරම්පරික ඇළවේලි හා ඔයවල් විනාශ වී යාම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා ඇති බවට මුලතිව් ගොවි සංවිධාන පෙන්වා දෙයි.
යුද්ධෙන් පසුව වැසියන් නැවත පදිංචි වීමත් සමඟ මෙම වැලි ජාවාරම් කරුවන් විසින් දේශපාලනික හා විවිධ බලපෑම් මත නීති විරෝධී වැලි ජාවාරම් සිදු කරන අතර මේ වනවිට මුලතිව් ප්රදේශ රැසකම පාරම්පරික ඇළවේලි හා ඔයවල් විනාශ වී යාමෙන් එළඹෙන මහකන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මුලතිව් ඔඩ්ඩුසුඩාන්, පනික්කන්කුලම්, කිලවන්කුලම්, අම්බකාමම්, මාන්කුලම්, තුනුක්කායි, අයියන්කුලම්, පත්තුවෙට්ටුවාන්, පලෙයිමුරුගණ්ඩි, මාන්තෙයි නැගෙනහිර, පුදුකුඩිඉරිප්පු ,උදයාර්කට්ටු, රෙඩ්බානා, සුදන්දිරපුරම්, දේවිපුරම් ආදී ප්රදේශයන්හි දෛනිකව ඉතා රහසිගතව මෙම වැලි ජාවාරම් සිදු කෙරෙන බවටත් අදාළ ජාවාරම්කරුවන් වෙනුවෙන් නීතිය ක්රියාත්මක නොවෙන බවටද මුලතිව් ගොවීහු පවසති.
කෙසේ වෙතත් පසුගියදා මුලතිව් නන්සුණ්ඩාන් වැව් රක්ෂිතයේ වැලි ජාවාරමේ නිරත සැකකරුවන් 15 දෙනෙකු ට්රැක්ටර් 15ක්ද සමඟින් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට වැලි ජාවාරම්කරුවන් විසින් දැඩි ලෙසින් හානි කොට ඇති මුලතිව් රක්ෂිතයන්හි පිහිටි ඇළවේලි හා ඔයවල් පිළිසකර කොට ජලය ගලා බැසීමට හැකි අයුරින් සකස් කරදෙන මෙන් මුලතිව් ගොවි සංගම් විසින් අදාළ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.