වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් බලාපොරොත්තු විරහිතව ජීවත් වෙනවා. නමුත් එවැනි තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවයට අවතීර්ණ වීමේ දොර මම විවෘත කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් ජනතා සේවාවක් ඉටු කර තිබෙනවා. මැරෙන්න සිටින සෑම පුරවැසියෙකුටම ජිවිතය ලබාදෙනවා. මිනිස් ජීවිත වල වටිනාකම මනුෂ්‍යකමින් බැලිය යුතුයි.
දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබාගැනීමේ අරගලය ආරම්භ කළා.
දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුණා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 කදී ගුවන් මගින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.
පසුගිය වසර 03 තුළ මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වනවිට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නවා.