නීතිවිරෝධී අවි ගබඩාවක් තබාගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ්භාරයේ රඳවාගෙන සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා අද (02දා) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයන් දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ්භාරයේ රඳවා සිටින බව කියමින් නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් සැකකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා රුපියල්10,000ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියම කළේය.
ඇප තැබීමෙන් අනතුරුව සතියට වරක් රහස් පොලීසිය හමුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
කළගෙඩිහේන රනිස්වෙල ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ගිනිඅවි තොගයක් සහිත අවි ගබඩාවක් පවත්වාගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත් කොට සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණසේකර සහපොලිස් නිලධාරීන් වන ගාමිණී සනත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව, ඉන්දික බමුණුසිංහ නමැත්තන්ටය.
මෙම සිද්ධියට අදාළවම මීට පෙර අවස්ථාවකදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලි ප්‍රියදර්ශනී පෙරේරා මහත්මියද අධිකරණය විසින් කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලදී.
තම සේවාදායකයන් මේ වනවිට මොහොමඩ් සියාම් ඝාතන නඩුව සඳහා මරණ දඬුවම් නියම වී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින බවත්, ඔවුන් මේ සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ්භාරයේ රඳවනු ලැබ සිටින බවත් කී නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.්