මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අගවිනිසුරුවරයාට යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිරකරුවන් සිව්දෙනෙකු තෝරාගෙන ඔවුන් එල්ලා මැරීම නීතයට පටහැනි හෙයින් එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝග තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කෙරිණි.
මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.
දැනට මරණ දඬුවම නියමව බන්ධනාගාර වල රඳවා සිටින එස්.ගනේෂ්, මොහොමඩ් මිතාර්, හනීෆා ප්රහීම් නවාස්, එස්.ඒ සුරේෂ් කුමාර්, සුබ්‍රමනියම් ප්රනියමූර්ති, කේ.එච් .ගමගේ චන්ද්‍රදාස, එච්.කේ ජයතිලක, එන්.ඒ නිශාන්ත අල්විස් නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී.ගුණරත්න, ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට ඇත.
එම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කොට ඇත.