තායිලන්තයේ ටැක්සි රථ රියදුරෙකු වූ සොම්බාට් සුබින්, තමා කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත ලබාගත් බව දක්වන සලකුණක් (කෙටි වැකියක්) භාෂා ත්රිත්වයකින්ම පාරිභෝකන්ට පෙනෙන ලෙස ඩිජිටල් පුවරුවක දක්වා ඇත්තේ සිය සේවාදයකයන්ට රථයේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදෙමිනි.
වසංගතය හේතුවෙන් තමන් මෙතෙක් ලැබූ ආදායම් සැලකිය යුතු ලෙස කඩා වැටීම නිසාවෙන්ම, බැංකොක් නුවර ටැක්සි රථ රියදුරෙකු ලෙස සේවය කරන ඔහු ඉක්මනින්ම එන්නත ලබාගෙන, මේ ආකාරයෙන් තම ටැකිස් රථයේ ඒ බව ප්‍රදර්ශනය කිරීමට පෙළඹී තිබේ.
බැංකොක් නගරයට උතුරින් පිහිටි නොන්තබුරි හි පදිංචිකරුවෙකු වන සොම්බාට් පැවසුවේ මෙම ඩිජිටල් සලකුණ මගීන්ට විශ්වාසයක් ඇති කරන අතරම, එමගින් තමාගේ ආදායම සෙසු ටැක්සි රථ රියදුරන්ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි වීමට හේතු වී ඇති බවයි.
එම ඩිජිටල් පුවරුවෙහි "කොවිඩ්" හා "එන්නත" යන වදන් තායි, ඉංග්‍රීසි සහ මැන්ඩරීන් යන භාෂා ත්‍රිත්වයෙන්ම පෙනීමට සැලැස්වෙන අතරම, ඊට දකුණින් "හරි" සලකුණද යොදා තමන් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් බව සේවාදායකයන්ට තහවුරු කරන බව 43 හැවිරිදි සොම්බාට් පවසයි.
"මේ ටැක්සි රථයේ රියදුරාට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති බව මේ සලකුණ නිසා මගීන්ට දැන ගන්නට ලැබෙනවා. ඒ නිසා ඔවුන් කිසිදු බියකින් තොරව මගේ ටැක්සියට ගොඩවෙනවා." ඔහු සඳහන් කරයි.
මීට වසර තුනකට පෙර ඔහු ටැක්සි රථ රියදුරෙකු බවට පත්ව ඇත්තේ කාර්යාලයක සිදුකළ සේවාවට සමුදීමෙන් පසුවය. වසංගතයට පෙර ඔහු මෙම රියදුරු වෘත්තියෙන් මාසයකට බාට් 60,000ක් (ඇ.ඩොලර් 1,920ක් පමණ) උපයා ඇති නමුත්, මේ නවතම ආසාදන රැල්ල අතරතුර ඔහුගේ ආදායම බාට් 10,000ක් දක්වා පහත වැටී ඇත.
පසුගිය වසරේ වැඩි කාලයක් තායිලන්තය විශාල වශයෙන් වසංගතය පාලනය කර ගැනීමට සමත් වූ නමුත්, මෙම අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා ඇති වූ බරපතළම සම්ප්‍රේෂණය මැඬපැවැත්වීමට තායිලන්තය මහත් පරිශ්‍රමයක් දරමින් සිටීම ඊට හේතු විය.
එහිදී රට ඉක්මණින් යථාතත්ත්වයට පත්කිරීම සඳහා තායි බලධාරීන් එන්නත්කරණය මේ වනවිට වේගවත් කර තිබුණත්, තවමත් එන්නත ලැබී අත්තේ තායිලන්ත ජනගහනයෙන් මිලියන 2.7කට පමණි. ඒ අනුව රජය වැඩි එන්නත්කරණයක් සඳහා පොරබදිමින් සිටින්නේ එන්නත් සැපයුමද වැඩිකර ගනිමිනි.
විශේෂයෙන්ම එන්නත්කරණයේදී එරට කුලී රථ රියදුරන් සහ පොදු ප්‍රවාහන කාර්ය මණ්ඩලය ඇතුළු පෙරටුගාමී වෘත්තිකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට බලධාරීන් උත්සාහ කර ඇත.
සොම්බාට්ගේ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, "රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා." යනුවෙනි.
සොම්බාට්ගේ මෙම අපූරු වෑයම සමග මේ වනවිට බැංකොක් නුවර ටැක්සි රථ රියදුරන් එන්නත ලබාගැනීමට වැඩි උනන්දුවක් මෙන්ම, තම රථයද එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කරන රථයක් බවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව බැංකොක් නුවරින් වාර්තා වෙයි.