තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (22දා) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු ප්‍රදේශයේදී සිදු කරන ප්රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවයි.
පසුගිය දිනෙක උතුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන්නේ දහතුන්වැනි සංශෝධනය වෙනසක් නොමැතිව ආරක්ෂා කරමින් දෙමළ ජනතාවට සමාන අයිතීන් සමග විසඳුම් දීමට යෝජනා කරන බවයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට විසඳුමක් ලබා දෙන බවත් එම ප්‍රකාශයේ ඇතුළත් වෙයි.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා දකුණේ ජනතාවට තමන්ගේ ඇත්ත ප්‍රතිපත්තිය වසන් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
එදා රණවිරුවන් නොමැති නම් අද මෙවැනි මැතිවරණයක් පැවැත්වීමටවත් අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා විශාල කැප කිරීමක් සිදු කළ ජාතියක් වශයෙන් මෙවැනි දෙබිඩි ප්‍රකාශ සිදු කිරීම හෙළා දැකිය යුතු බවද අවධාරණය කළේය.
අද ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට හැකි බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන ගිය නායකයෝ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සුදුසුම පිරිස බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.