මන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුළු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස23 වනදා ඇමරිකාවට රැගෙන යාමට සූදානම් බවට කැනීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම දින 132 ක් පුරාවට සිදු කරන ලද කැනීම් කටයුතු වලින් හමුවූ සිරුරු කොටස් සාම්පල 23 වනදා රාත්‍රියේ ඇමරිකාවේ ෆොරිඩාහි පිහිටි රසායනාගාරය වෙතට රැගෙන යාම හේතුවෙන් සමූහ මිණිවලේ කැනීම් කටයුතු 22 වනදා සවස සිට තාවකාලිකව නැවැත්වෙන බවටත් නැවත කැනීම් කටයුතු ආරම්භ වන්නේ ජනවාරී 30 වනදා බවත් වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
එහිදී සිරුරු කොටස් සාම්පල ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,
‘අපි දැනට දින 132ක් කැනීම් සිදු කරල තියෙනවා. මේ වනවිට සිරුරු 300ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 294ක් අධිකරණයේ විශේෂ කුටියක තැන්පත් කරලා තියනවා. ඉන් ළමුන්ගේ බවට සැක කෙරෙන සිරුරු 23 ක් හමුවෙලා තියනවා. සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම සිදුවන්නේ 23 වනදා රාත්‍රියේ. අපි 22 වනදා උදෑසන කාලයේ කැනීම් සිදුකරලා නවත්වනවා නැවත පටන්ගන්නේ 30 වනදා.
සිරුරු සාම්පල ඇමරිකාවට රැගෙන යන්නේ සම්පූරණයෙන්ම මගෙ භාරයේ කිසිදු අයෙකුට එහිදී බලපෑමක් කරන්න බැහැ බොහෝ විට අතුරුදහන් වූවන්ගේ පාර්ශවයෙන් නීතිඥයෙකු සහභාගී වෙයි නමුත් මට තාම සහතික කරල නැහැ ඒ අය කව්රු ආවත් ඒ අය එන්නේ නිරීක්ෂකයින් විදිහට පමණයි මගේ භාරයේ අරන් යන සිරුරු සාම්පල අදාළ ආයතනයට භාර දී ආපසු එනවා .සිරුරු කොටස්හි වාර්තාවත් මට ලැබෙන්නේ. වාර්තාව ලැබෙන්න බොහෝ දුරට සති දෙකක කාලයක් ගත වෙයි. වාර්තාව ලැබුණු විගස මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා”යැයි ඔහු පැවසිය.