කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමෙන් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවසර දුන්නාය.
ස්විට්සර්ලන්තයට හා ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළාය.
2015 අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්දු නෝට්ටු පහක් බලහත්කාරයෙන් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්දු නෝට්ටු ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.