එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බවත් කෙටි කාලයක් තුළ මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බවත් ඔහු පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) දින අරලියගහ මන්දිරයේදී පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.
සංවර්ධන වැඩකටයුතුවල සාර්ථකත්වය ජනතාවට අවබෝධ කර දෙමින් බිම් මට්ටමේ බලය රැක ගැනීම සඳහා ඔබ සියලු දෙනා පියවර ගත යුතුව තිබෙනවා. මේ ආණ්ඩුව තරම් මහජනතාව වෙනුවෙන් වැඩ කළ තවත් ආණ්ඩුවක් නැහැ. එමෙන්ම මේ ආණ්ඩුව තරම් කළ සංවර්ධන වැඩ ගැන කතා නොකළ ආණ්ඩුවක් නැහැ.
2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා. බලතල සහිත ස්ථාවර ආණ්ඩුවක් ලබාගෙන මේ වැඩකටයුතු තවත් දස ගුණයකින් වැඩිකිරීම අපේ අරමුණයි.
එළඹෙන මැතිවරණය අපට ජයග්‍රහණය කළ හැකියි. මහජන නියෝජිතයින් වශයෙන් ඔබ දැන් සිටම ජනතාව අතරට ගොස් අප සිදුකළ සහ ඉදිරියේ සිදුකරණ වැඩකටයුතු පිළිබදව දැනුවත් කර මූලික පියවර ආරම්භ කරන්න. අප සියලු දෙනා එකමුතුවී සන්ධානය ඇති කර එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කර අපේ බලය තහවුරු කරමු.”