සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති බවට පත් කරනවා යන්න අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ රජයක් එය සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ගම්පෙරළිය” වැඩසටහන යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය කරන ලද අතුරු මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මරික්කාර් මහතා,
“අපි මේ පාර අවුරුදු 20 කට පස්සේ පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙක් පත් කරගෙන, අගමැතිවරයෙක් තමයි පත් කරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කණ්ඩායම් අනියත බියක් හදාගෙන යනවා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුණොත් මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති කරන්න හදනවා කියලා.
ඒක එහෙම වෙන්නේ නෑ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ 99%ක්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක තරහයි. ඒ බය ඇති කරලා පොඩි ක්‍රමන්ත්‍රණයක් කරන්න යන්නේ. අපි තවදුරටත් ඉතා පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කිසිසේත්ම අගමැති කරන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙක් තමයි පත් කර ගන්නේ. ඒ නිසා ඇතැම් මාධ්‍යවලින් ව්‍යාජව පතුරුවන ප්රවෘත්ති වලට බුද්ධිමත් මිනිස්සු අහුවෙන්නේ නැහැ කියලා අපි සිතනවා.
අනික ජනාධිපතිතුමා පළාත් සභා ඡන්දය ගැන කල් යෑම ගැන අපිට චෝදනා කරනවා. ජනාධිපතිතුමාටත් අමතක වෙලා තියෙන්නේ එතුමා යූන්පී කාරයින්ගේ කරපිටින් බලයට ඇවිල්ලා යූන්පී කාරයාටම රිද්දන්න තමයි වැඩ කරේ. පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මැතිවරණය ඉවර වුණ ගමන් තිබුණා නම් ගොඩක් ඒවා යූන්පී එක දිනනවා.
නමුත් එහෙම කරන්න දුන්නේ නැහැ. වැඩියෙන්ම රිදවපු කෙනා අන්තිම මොහොතෙත් තවත් රිදවන්න තමයි බලන්නේ. මොකද ලාම්පුවක් නිවෙන්න කිට්ටු වුණාම වැඩිපුර දැල්වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ හීන කතා තව මාස දෙකයි” යැයි පැවසීය.